කතෝලික පල්ලියට වෙනසක් ගෙනෙන පාප්තුමන්?

  • 2013 දෙසැම්බර් 21
pope
Image caption ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ

ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ප්‍රකාශයට පත් කොට ඇති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ගේ ලංකා ගමන පිළිබඳව ආණ්ඩුව සහ වතිකාන පරිපාලනය අතරේ සාකච්ඡා දිගටම කෙරී ගෙන යන බව ශ්‍රී ලංකාවේ කතෝලික සභාව කියා සිටී.

බී බී සී සංදේශය කළ විමසුමකට පිළිතරු දුන් ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ ප්‍රකාශකයෙකු වන බෙනඩික්ට් ජෝශප් පියතුමන් කියා සිටියේ මේ වන විට ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පාප් තුමන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනය කොට ඇති බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරාධනය පිළිගත් බවට කරුණු ප්‍රකාශ වී ඇතත් තාමත් පාප් තුමන් පැමිණෙන දින වකවානු නියම කරගෙන නැතැයි බෙනඩික්ට් ජෝශප් පියතුමා වැඩි දුරටත් පැවසූහ.

ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නම් කිරීම පිළිබඳ ව බී බී සි යට කරුණු දැක්වූ ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ පුවත් පතේ වාර්තාකාරිනී මාර්ටිනා ස්ටීව්ස් කියා සිටියේ පාප් තුමන් කර ගෙන යන වෙනස්කම් කතෝලික ජනතාව වැදගත් කොට සලකන බවයි.

දුප්පතුන් ගේ අවශ්‍යතා පිළිබඳ ව වඩාත් සංවේදී විය යුතු බව ෆ්‍රැන්සිස් පාප් තුමන් ප්‍රකාශ කොට ඇති අතර ඒ වෙනුවෙන් කතෝලික සභාව තුල වෙනස්කම් රැසක් දියත් කොට ඇති බව විචාරකයෝ පෙන්වා දෙති

වසරේ කැපී පෙනෙන චරිතය

බීබීසි වැඩ සටහනකට එක්වූ එංගලන්ත සභාවේ ශාන්ත පාවුළු දේවස්ථානයේ හිටපු ප්‍රධාන දේවගතිවරයා වූ ග්ලෙඑස් ෆ්රේසේර් කියා සිටියේ ටයිම් සඟරාව විසින් වසරේ කැපී පෙනෙන චරිතය ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නම් කිරීම පිළිබඳව තමන් දැඩි ලෙස සතුටට පත් වන බවයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ කෙළින්ම තම බැතිමතුන් දුරකථනයෙන් අමතන බවයි, දේවගැති ග්ලෙඑස් ෆ්රේසේර් ප්‍රකාශ කළේ.

‘මේ දුරකතන ඇමතුම් ගැන මම කතාවක් අහලා තියෙනවා . විවාහ නොවී දරුවෙක් ලැබෙන්න හිටපු කාන්තාවක් පාප් තුමන්ට ලියුමක් ලියලා දැන්වුවා තමන්ගේ උපදින්නට ඉන්න දරුවා ආගමට ඇතුල් කර ගැනීමට හෙවත් බව්තීස්ම කර ගැනීමට පුජකවරයෙකු හොයා ගන්න පුළුවන් ද යන ප්‍රශ්නයට තමන් මුහුණදී සිටින බව. පාප් තුමන් මේ කාන්තාවට දුරකතනයෙන් කථා කලා. දරුවා බව්තීස්ම කිරීමට පුජක වරයෙක් හොයා ගන්න බැරි වුනොත් තමන් ට පැමිණිය හැකි බව කියා සිටියා. මේක හරිම අපුරු වැඩක්' යැයි ග්ලෙඑස් ෆ්රේසේර් දේවගැතිතුමන් කියා සිටියහ.