ජනාධිපති ආරාධනයට දෙජාස ප්‍රතිචාරය

Image caption සාකච්ඡා මේසයට ඇරයුම්.

ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභා වපසරිය පුළුල් කරමින් ඊට සහභාගී වන මෙන් යෝජනා කළ හොත් ඊට සහභාගී වීම ගැන සලකා බැලීමට සූදානම් යයි දෙමළ ජාතික සන්ධානය පවසයි.

ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී කළ ඇරයුමට ප්‍රතිචාරය දක්වමිනුයි දෙමළ ජාතික සන්ධානය එම ප්‍රකාශය කරන්නේ.

බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් .සම්බන්ධන් කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි.

අවුරුද්දක කතාබහ

“මේ ප්‍රශ්නය ගැන කථා බහට අපි සාධනීය ව දායක වෙලා තියෙනවා. අපි ආණ්ඩුවත් සමග අවුරුද්දක් තිස්සේ කථා කළා. තුන් වෙනි රැස්වීමේ දී අප ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් කළා”දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසයි.

එහෙත් ආණ්ඩුවේ ප්‍රතිචාරය තමන්ට නොලැබුන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් වැඩි දුරටත් කියා සිටියේ.

“අපි ජනාධිපති තුමා එක්ක කථා කළා. අපි එකඟතා කීපයකට ආවා. නමුත් තාමත් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ” මන්ත්‍රීවරයා පවසයි.

Image caption දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය

2012 දී ජනවාරි 17,18 සහ 19 දිනවල අපි ආණ්ඩුවත් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබුණත් ආණ්ඩුව සහභාගී නොවූ හෙයින් එම සාකච්ඡා නොපැවත්වුන බවයි ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා පවසන්නේ. සාකච්ඡා ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව වග කිව යුතු බවත් ඔහු කියා සිටියි.

දහතුන් වෙනි සංශෝධනය

ඉන් අනතුරුව, ආණ්ඩුව පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරමින් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් නම් කරන මෙන් දැනුම් දෙන ලද නමුත් එම කාරක සභාවෙන් සිදු කිරීමට යන්නේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කරමින් පළාත් සභා වලට හිමි බලතල අඩු කිරීම වන හෙයින් තමන් ඊට සහභාගී නොවූ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියි.

“13 වෙනි සංශෝධනය සම්මත වූ පසු හැම ආණ්ඩුවක් ම ඉන් එහාට යාමේ පදනමක් හැටියට ඒ ගැන කථා කරන්න සූදානම්වයි හිටියේ. කලින් තිබුණ පාර්ලිමේන්තු කාරක සභා සහ කොමිසම් සභා මගිනුයි එම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කරලා තිබුණේ. පිළිගත හැකි යෝජනාවක් ඇත්නම්, අපි කල් පවතින ප්‍රායෝගික විසඳුමක් වෙනුවෙන් සාකච්ඡාවට සුදානම්” යයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර