පාර්ලිමේන්තු සජීවී විකාශන නතර කිරීමේ කුමන්ත්‍රණයක්

  • 25 දෙසැම්බර් 2013
තමා කොටුකර ගැනීමේ සැලැස්මක් ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු විවාද සජීවී ලෙස විකාශනය කරනු ලැබීම නවතා දැමීමට ආණ්ඩුවේ දූෂිත අමාත්‍යවරුන් කුමන්ත්‍රණය කරන බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේ දී කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි ප්‍රතිපාදන සලසා දෙන මෙන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් ඉල්ලා සිටිනු ලැබීම එහි එක් පියවරක් බවයි, මන්ත්‍රීවරයා සංදේශය සමග සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ.

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට චෝදනා කළේ, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු විවාද සජීවී විකාශනය උපයෝගී කර ගෙන රට නොමග යවන ප්‍රකාශ සිදු කරන බවයි.

මඩ ගැසීමේ අවස්ථාවක්

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ,මන්ත්‍රී වරුන්ගේ ප්‍රකාශන වලට එරෙහිව නඩු පැවරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.

"ජනතාව වෙනුවෙන් මාධ්‍යයට ලබා දුන් අනගි අවස්ථාව මේ මන්ත්‍රීවරයා තම පහත් හැසිරීම උපයෝගී කර ගනිමින් අන් අයට මඩ ගැසීමට පාවිච්චි කරන බව පේනවා. එසේ නම්, සජීවී මාධ්‍ය ඔස්සේ පහත් ප්‍රකාශ කරන මන්ත්‍රී වරුන්ට එරෙහිව නඩු පැවරීමට ප්‍රතිපාදන සලසන්නැයි” ඇමතිවරයා කතානායක වරයාගෙන් ඉල්ලා සිටියේ ය.

මාධ්‍ය ඇමතිවරයාගෙන් අභියෝගයක්

තමන්ට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරණ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසන්නේ, පාර්ලිමේන්තු විවාද සජීවී ලෙස විකාශනය කිරීමත් සමඟ ආණ්ඩුව නො සිතූ පරිදි මහජනතාව වෙත සැබෑ තොරතුරු ගලා යෑමත් සමඟ එම සජීවී විකාශන නවතා දැමීමට ආණ්ඩුව දැන් උත්සාහ කරන බවයි.

ප්‍රශ්න වලට ඇති බිය

"තමන්ගේ ඡන්දයෙන් පත් කරලා යවපු ජනතා නියෝජිතයන් ජනතා ප්‍රශ්න නියෝජනය කරන්නේ කොහොමද? ඒ වගේම විෂය භාර ඇමතිවරු ඒ ප්‍රශ්න වලට දෙන පිළිතුරු මොනවාද? කියල සජීවී විකාශනය තුළින් ජනතාවට බලා ගන්න පුළුවන්” රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි.

“ආණ්ඩුව හිතුවේ මේක ඔවුන්ට වාසියක් වේවි කියලයි. ආණ්ඩුවේ ඊනියා සංවර්ධනය පෙන්න ගන්න. නමුත් අපේ පක්ෂයේ ඉන්න කථිකයෝ මෙයින් උපරිම ප්‍රයෝජන අර ගෙන රටේ තියෙන දූෂණ ගැන ප්‍රශ්න අහන්න පටන් ගත්තා, ඒකට මේ පුද්ගලයන් බය වෙලා" ඔහු වැඩි දුරටත් පවසයි.

දැනට පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අනුව මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශයකට එරෙහිව උසාවියක් ඉදිරියේ නඩු පැවරිය නො හැක.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර