ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

චීනය මාඕ සේතුං සමරයි

2013 දෙසැම්බර් 26 අවසාන වරට යාවත්කාලීන කළේ 12:24 GMT

මහජන චීනයේ නිර්මාතෘ මාඕ සේතුංගේ එකසිය විසි වැනි ජන්ම දිනය නිමිත්තෙන් අද,බ්‍රහස්පතින්දා චීනයෙහි විශේෂ සමරු උත්සව ක්‍රියාත්මක කෙරෙමින් පවතින බව බේජිං නගරයෙන් වාර්තා වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායක, ෂි ජින් පින්(Xi Jinping) ඇතුළු මුල් පෙළේ නායකයන් බේජිං අගනුවර පිහිටි මාඕ සේතුං සමාධිය කරා ගොස් උපහාරය දැක් වූ බවයි, ‘ෂින්හුවා’(Xinhua) රාජ්‍ය පුවත් ආයතනය වාර්තා කරන්නේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන‘චයිනා ඩේලි’(China Daily) වාර්තාවක් පළ කරමින්,මාඕ සේතුං වෙනුවෙන් දැක්විය හැකි හොඳම උපහාරය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල දිගටම පෙරට ගෙන යාම යයි කියා සිටියි.

විවෘත ආර්ථිකය පෙරට

චීනය දැනට ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන ලද්දේ මාඕ සේතුංගේ අභාවයෙන් පසුවයි.

මාඕ සේතුං අගය කිරීමේ දී ඔහු විසින් චීන විප්ලවයෙන් පසු කාලයෙහි හඳුන්වා දෙනු ලැබුණ මහා පිම්ම ආර්ථික වැඩ සටහන සහ චීන සංස්කෘතික විප්ලවය ඇතුළු පශ්චාත් යුද කාලීන පිළිවෙත් යල් පැන ගොස් තිබීම තේරුම් ගැනීමත් සමඟ එම පිළිවෙත් සහ දේශපාලන උරුමය සම්බන්ධයෙන් ඔහුට ඇති ණයගැති භාවය අතර සමතුලිත තත්වයක් ඇති කර ගැනීමට චීන දේශපාලනඥයන්ට සිදු වී ඇති බවයි වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ.