Akademik Shokalskiy
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගවේෂණ නෞකාව සොයා ආ චීන 'හිම මකරා'

2013 දෙසැම්බර් 27 අවසාන වරට යාවත්කාලීන කළේ 14:06 GMT

නත්තල් දිනයේ සිට දක්ෂිණ ධ්‍රැවයේ නැගෙනහිර ප්‍රදේශයට එපිටින් අයිස් තට්ටු අතර සිර වී තිබෙන විද්‍යා ගවේෂණ නෞකාවක් සමීපයට චීන අයිස් බිඳීමේ නෞකාවක් ලඟා වීමත් සමඟ ඉතා ඉක්මනින් ගවේෂණ නෞකාව බේරා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

අයිස් තට්ටු කපා දමා ගවේෂණ නෞකාවට මාර්ගයක් පාදා දීම ‘හිම මකරා’ චීන නෞකාවේ අපේක්ෂාව වන අතර, ගවේෂණ නෞකාවේ කාර්ය මණ්ඩලයට දැන් චීන නෞකාව දැක ගත හැකිය.

ඕස්ට්‍රලේශියා දක්ෂිණ ධ්‍රැව ගවේෂණ කණ්ඩායම විසින් භාවිත කරන රුසියානු ශෝකල්ස්කි විද්‍යා ගවේෂණ නෞකාවේ හැත්තෑ හතර දෙනෙක් සේවය කරති.

මීට සිය වසකට ඉහතදී ඩග්ලස් මෝසන් ගවේශකයා ගමන් කළ මාර්ගයේයි, ඔවුන් ගමන් කරමින් සිටින්නේ.

‘හිම මකරා’ නෞකාව ඈත ක්ෂිතිජයෙන් මතු වන ආකාරය දැක් වෙන ඡායාරූපයක් ගවේෂණ කණ්ඩායමේ නායකයකු වන ක්‍රිස් ටර්නි විසින් ට්විටර් ජාලයේ පළ කරනු ලැබ තිබිණ.

ඕස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් අගනුවරසිට නාවුක සැතපුම් 1500 ක් පමණ දකුණින්, දැඩි සුළඟ මගින් ගසා ගෙන ආ ඝන අයිස් තට්ටුවකට මැදි වූ ශෝකල්ස්කි ගවේෂණ නෞකාව නත්තල් දිනයේ සිට එහි සිර වී තිබේ.