දෙවරක් සමූහ දූෂණයට ලක් වූ ඉන්දීය තරුණිය

  • 2013 දෙසැම්බර් 27

දකුණු ඉන්දියාවේ පොන්ඩිචෙරි නගරයට නුදුරු ප්‍රදේශයකදී විසි එක් හැවිරිදි කාන්තාවක් සමූහ දුෂණයට ලක් වීම සම්බන්ධයෙන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය ප්‍රකාශ කරයි.

නත්තල් උදාවේ පොන්ඩිචෙරි හි කරයිකල් ප්‍රදේශයේදී සිය මිතුරියන් හමුවීමට ගිය අවස්ථාවේ පුරුෂයන් තිදෙනකු විසින් ඇය පැහැර ගෙන තිබෙන බව පොන්ඩිචෙරි ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොනිකා භාරද්වාජ් බීබීසී දෙමළ සේවයට කියා සිටියාය.

“ඒ තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඇයට ලිංගික අතවර කරලා තියෙනව,” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

දූෂණයට ලක් වූ තරුණිය සිය මිතුරියන් අමතා තමන්ට සිදු වූ අතවරය දැනුම් දුන් පසුව එහි පැමිණි මිතුරියන් සමඟ ආපසු යමින් සිටියදී එහි පැමිණි තවත් පුරුෂයන් පිරිසක් එම තරුණියම යලිත් වරක් සමූහ වශයෙන් දූෂණය කොට ඇති බව පොලිසිය පවසයි.

මෙය ඉතාමත්ම අහඹු, කෘර සිදුවීම් ජාලයක් බවයි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මොනිකා භාරද්වාජ් කියා සිටියේ.

දූෂණයට ලක් වූ තරුණිය ඒ පිළිබඳව පැමිණිලි කිරීමට උත්සාහ කළ අවස්තාවේදී පැමිණිල්ල භාර ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියා ගේද වැඩ තහනම් කොට තිබේ.

දිල්ලි නුවරදී බස් රථයක් තුළ ශිෂ්‍යාවක සමූහ දුෂණයට ලක් වී මිය යාමේ සිද්ධියෙන් වසරක් ගත වෙද්දීයි, මේ සමූහ දූෂණය වාර්තා වෙන්නේ.

එම ශිෂ්‍යාවගේ මරණයෙන් අනතුරුව ඉන්දියාව පුරා හට ගත් මහජන උද්ඝෝෂණ හමුවේ ස්ත්‍රී දූෂණ සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමටද බලධාරීහු පියවර ගත්හ.