පාරේ වැඩට බීර වැටුප්

  • 2013 දෙසැම්බර් 29

නෙදර්ලන්තයේ මත් ලෝලීන්ගෙන් සිදුවෙන සමාජ ප්‍රශ්න අවසන් කොට ඔවුන් සමාජගත කර ගැනීමේ අදහසින් අලුත් අදහසක් ක්‍රියාවට නැංවීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මහ පාර පිරිසිදු කිරීමේ නිරත කෙරෙන මත්ලෝලීන්ට ගෙවීම් කෙරෙන්නේ මුදලින්, දුම් කොළ වලින් සහ බීර වලින්.

මිනිසුන්ගෙන් නොමිලේ වැඩ ගැනීම නොව සමාජයට හානිකර මට්ටමින් මත්පැන් පානය අඩුකර ගැනීමයි නෙදර්ලන්ත බලධාරීන් ගේ අරමුණ වෙන්නේ.

නොමිලේ බීර ප්‍රදානය තුලින් , ඕලන්ද ලිබරල්වාදී පිළිවෙතේ පමණ ඉක්මවා යාමක් සිදු විය හැකි බවට ඇතැම් ගතානුගතිකවාදී කණ්ඩායම් මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් භීතිය පළ කරනු ලැබ ඇත.

දේදුන්න සංවිධානය

නෙදර්ලන්ත අගනුවර ඔස්ටර්පාර්ක් උයන මත්පැනට ඇබ්බැහි වූවන් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ස්ථානයක් වන අතර, එහි රැඳී සිටින මත්පැනට ඇබ්බැහි වූවන් විසින් සිදු කරනු ලබන පිහි ඇනුම්, කොල්ල කෑම් සහ කාන්තාවන්ට අතවර කිරීම් වැනි සාපරාධී ක්‍රියා පාලනය කර ගැනීමත් නව සැලැස්මේ අරමුණකි. වැඩ පිළිවෙළ දියත් කරන ‘දේදුන්න’ සංවිධානය පවසන්නේ ඔවුන්ගේ ප්‍රයත්නය පල දරමින් ඇති බවයි.

එම සංවිධානයේ ජෙනට් වැන්ඩනෝස් අදහස් දක්වමින් කියා සිටින්නේ තම සූදානම ඕලන්දයේ සම්මත පිළිගැනීම් ඉක්මවා පෙරට යාම වන බවයි.

“ජනතාව මත් පැන් වලින් සහමුලින්ම මුදා ගැනීම ඉතා ම දුෂ්කර කාර්යයක්. නව වැඩ පිළිවෙළ ඔවුන්ට සිදු වෙමින් ඇති හානිය අවම කිරීමේ විප්ලවීය ප්‍රයත්නයක්. අපේ සැලැස්ම මත්පැනට ඇබ්බැහි වූවන් යළි සමාජයට ගැනීම.”

දේදුන්න සංවිධානය විසින් ඔවුන්ගේ නව වැඩ පිළිවෙලට එක කර ගනු ලැබූ රෙනේ ජීවිතය ගොඩ ගැනීමට යත්න දරන්නෙක්.

මත්ලෝලීන්ගේ සහයෝගය

මත් පානයට ඇබ්බැහි වී සිටියවුන් ද නව වැඩ පිළිවෙලට සතුටින් එක් ව සිටින බවත් වාර්තා වෙයි. නිදන් ගත මට්ටමේ මත් ලෝලියකු වන රෙනේ ප්‍රකාශ කරන්නේ,නව වැඩපිළිවෙලට තමන් එක් ව සිටින බවයි.

“අපේ මිනිස්සු මේකට කැමතියි. අපි පාර පිරිසිදු කරනවා . අපට ප්‍රජාව වෙනුවෙන් රැකියාවක් ලැබිල තියෙනවා. මහජනතාව අප සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වන්නේ සාමාන්‍ය විධියට නොවෙයි. නමුත් දැන් තත්වය වෙනස්.” රෙනේ පවසයි.

“එක පාරක් මම පාරෙ නිදා ගත්තා. දේදුන්න ව්‍යාපාරයේ මිනිහෙක් මාව අරගෙන ගියා. ඒ ගොල්ලෝ මාව බේර ගත්තා. එයා මාව ගෙනිච්චා - ගෙවල් නැති අය ජීවත් වෙන තැනකට. මට ළමයි හතර දෙනෙක්ඉන්නවා.පවුල් තුනක් ,නෝනලා තුන් දෙනෙක්! ඒත් මධ්‍යසාර ඒ හැම දේම විනාශ කරලා දාලා. මේ බීර කෑන් එක මා එක්ක ඉන්නවා - මුකුත් නැති කොටත්, හැම දේම තියෙන කොටත්.”

රෙනේ සිය අදහස් දැක්වීම නිම කළේ දිගු සුසුමක් ද සමඟයි.

නෙදර්ලන්ත බලධාරීන්ගේ ඉලක්කය උයන් තුල රැඳී සිටිමින් අපරාධ වලට හවුල් වෙන මත්ලෝලීන් සමාජගත කොට වැඩක නිරත කරවීම .ඒ වෙනුවෙන් ඔවුන්ට දවසකට යුරෝ දහයක පමණ සිල්ලර වියදම් මුදලක් ,දුම්කොළ ටිකක් සහ බීර ටින් පහක් දෙනු ලබන බවයි ප්‍රකාශ වෙන්නේ.

උදේ පාර පිරිසිදු කිරීම ආරම්භයේ දී බීර ටින් තුනක් ද දවල් කෑම පැයේ දී තවත් බීර ටින් දෙකක් ද දවසේ වැඩ අවසන් වූ පසු ඉතිරි බීර ටිනය ද ලබා ගැනීමට නෙදර්ලන්ත මත්ලෝලීහු සුදුසුකම් ලබති.