පලස්තීන රාජ්‍යතාන්ත්‍රිකයා පිපිරීමකින් මිය යයි

චෙක් ජනරජයේ සිටින ප්‍රධාන පලස්තීන රාජ්‍යතාන්ත්‍රිකයා වන ජමාල් අල් ජමාල් ඔහුගේ නිවසේ හට ගත් පිපිරීමකින් මිය ගොස් තිබේ.

මේ සිද්ධිය හදිසි අනතුරක් ලෙස පෙනී යන බවයි පොලිසිය පැවසුවේ.

හිසට සහ පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු රෝහලට ඇතුළත් කළ නමුත් පසුව එහි දී මිය ගියේය.

වසර තිහක් මුළුල්ලේ වසා දමා තිබූ ආරක්‍ෂිත සේප්පුවක් විවෘත කිරීමට යාමේ දී මේ පිපිරීම සිදුවී ඇති බව පලස්තීන විදේශ ඇමති රියාද් මලිකි (Riad Malki) පවසා ඇති බව ඒපී ප්‍රවෘති ආයතනය විසින් වාර්තා කොට තිබිණ.

එම ආරක්‍ෂිත සේප්පුව පැරණි කාර්යාලයේ සිට ප්‍රාග් (Prague) නුවර පිහිටි පලස්තීන රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාසය වෙත මෑතක දී ගෙන ගොස් තිබේ.

පලස්තීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රධානියා වන ජමාල් අල් ජමාල් ගේ පවුලේ සාමාජිකයන් එම අවස්තාවේදී ඔහු සමග සිටියද වෙනත් කිසිවකුට තුවාල සිදුවී නැත.