යලි අගමැති ධූරයට එන්නේ නැහැ - අගමැති මන්මෝහන් සිං

ඉදිරි ඉන්දීය මහ මැතිවරණයෙන් පසු කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය යලි බලයට පත්වුවත් තමන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වදින්නේ නැතැයි ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ප්‍රකාශ කරයි.

වසර තුනකට පසුව මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ.

රාහුල් ගාන්ධි

ඉන්දීය අගමැතිවරයා පැවසුවේ කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි ඒ සඳහා විශිෂ්ට සුදුසුකම් ලබා සිටින බවයි.

සුදුසු අවස්ථාවේ දී තම පක්ෂය එම තීරණය ගනු ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය.

මීළඟ මැතිවරණයේ දී එක්සත් ප්‍රගතිශීලි සන්ධානයෙන් නව අගමැතිවරයකු පත්වීම පිළිබඳව තමන්ට පූර්ණ විශ්වාසයක් ඇතැයි අගමැති ආචාර්ය මන්මෝහන් සිං පැවසුවේය.

භාරතීය ජනතා පක්ෂයෙන් තරඟ කරන නරේන්ද්‍ර මෝඩි ගැන සඳහන් කළ අගමැති මන්මෝහන් සිං ඔහු රටේ අගමැතිවරයා වශයෙන් පත්වුවහොත් එය අතිශයින් අවාසනාවන්ත දායක තත්වයක් බවයි කියා සිටියේ.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැති මන්මෝහන් සිං පැවසුවේ තමන් පාකිස්තානයට යාමට ඉතා කැමැත්තෙන් සිටින බවයි.

වර්තමානයේ බටහිර පන්ජාබ් නමින් හැඳින්වෙන පළාතේ ගම්මානයක තමන් උපන් බවයි ඔහු පැවසුවේ. සැබෑ ප්‍රතිඵල අත් කර ගැනීමට හැකි තත්වයක් පවතින්නේ නම් රටක අගමැතිවරයා ලෙස තමන් පාකිස්තානයට යා යුතු බවයි අගමැතිවරයා කියා සිටියේ.

තමිල්නාඩුවේ ගැට‍ළු

තමිල්නාඩුවේ ප්‍රධාන ගැට‍ළු දෙකක් ඇති බව මෙහි දී මාධ්‍යවේදියකු පෙන්වා දුන්නේය.

“ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය” සහ “තමිල්නාඩු ධීවරයන්ගේ ගැටලුව” එම ප්‍රශ්න දෙක බව පැවසූ මාධ්‍යවේදියා එම ප්‍රශ්නවලට ස්ථිර විසදුම් ලබා දෙන්නේ කවදා දැයි අගමැතිවරයාගෙන් විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිටින දෙමළ ජනතාව කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුවී නැති බව පැවැසීම සත්‍යයෙන් තොර යයි පැවසූ අගමැති ආචාර්ය මන්මෝහන් සිං, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා රජය යොමු කිරීමට ගත හැකි සෑම උත්සාහයක්ම ඉන්දීය රජය විසින් සෑම විටම ගෙන ඇති බවයි පැවසුවේ.

ඉදිරියේදීත් දිගටම එසේ කරන බව අගමැති මන්මෝහන් සිං ප්‍රකාශ කළේය.

ධීවරයන්ගේ ප්‍රශ්නය

තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නයද ශ්‍රී ලංකා රජය සමඟ අවස්ථා ගණනාවකදීම සාකච්ඡා කොට ඇති බවයි ඔහු පැවසුවේ.

දැන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දෙමළ ජනතාවගේම රජයක් ඇති නිසා දෙරට ධීවරයන්ට වාඩි වී සාකච්ඡා කොට දෙපාර්ශවයට එකඟ විය හැකි විසඳුමක් සොයා ගැනීමේ වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමට තමිල්නාඩු සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබී ඇති බව ඉන්දීය රජයට හැඟී යන්නේ යයි අගමැතිවරයා පැවසුවේය.

එය සිදු වේ යැයි තමා සිතන බව පැවසූ ඉන්දීය අගමැතිවරයා දෙරටේම ධීවරයන් මුහුණ දෙන ප්‍රශ්න විසඳා ගත හැකි එකම ක්‍රමයත් එය යැයි ප්‍රකාශ කළේය.

ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං ඉදිරි අග්‍රාමාත්‍ය ධුරය සඳහා ඉදිරිපත්නොවන බව ප්‍රකාශ කිරීම බෙහෙවින් බලාපොරොත්තු වූ දෙයක් බවයි බීබීසි යේ දිල්ලි වාර්තාකරු සන්ජෝය් මජුම්දර් (Sanjoy Majumder) ප්‍රකාශ කළේ.

අප්‍රසාදය

ඉකුත් වසරේ දී ඔහුගේ කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ප්‍රගතිශීලි සන්ධානය දූෂණ සිද්ධීන් සහ ආර්ථික ප්‍රශ්න හේතුවෙන් අප්‍රසාදයට පත්ව ඇති බව පවසන බීබීසි දිල්ලි වාර්තාකරු , අසූ එක් වියැති අගමැතිවරයාටත් ඔහුගේ රජයටත් ජනතාවගේ සහයෝගය අහිමි වෙමින් තිබෙන බවයි පැවසුවේ.

උද්ධමනයද පාලනය කිරීමට නොහැකි අඩියකට පත්ව ඇති බව සඳහන් කරන ඔහු ඉකුත් මාසයේ දී රජය ප්‍රාන්ත රාජ්‍ය මැතිවරණ කිහිපයක දී පරාජයට පත්වූ බව කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂයෙන් නරේන්ද්‍ර මෝඩි අගමැති තනතුර සඳහා තරඟ වදින බව කියා සිටි බීබීසී වාර්තාකරු මේ මැතිවරණයේ දී නරේන්ද්‍ර මෝඩි ඉදිරියෙන් සිටින බව බෙහෙවින් පෙනෙන්ට තිබෙන බව සදහන් කළේය.

ගුජ්රාත් ප්‍රාන්තයේ වත්මන් මහ ඇමතිවරයා වන නරේන්ද්‍ර මෝඩි ඉතා දැඩි පරිපාලකයකු ලෙස සැලකෙන බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.