ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වෙන බංග්ලාදේශ මැතිවරණය

  • 2014 ජනවාරි 4

සති ගණනාවක් වීදි පුරා පැවති කලබල වලින් පසු ජනවාරි මස පස් වැනි ඉරිදා බංග්ලාදේශ මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය මැතිවරණය වර්ජනය කරන බවට ප්‍රකාශයට පත් කොට ඇති බැවින් පාලක අවාමි ලීගය මෙම මැතිවරණය ජය ගැනීම වෙනුවෙන් සියලු කටයුතු සකසා ගෙන ඇති බව පෙනී යයි.

අන්තර් වාර රජයක්

බංග්ලාදේශ ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් වල ඉල්ලීම වන්නේ සම්ප්‍රදාය ආරක්ෂා කර ගනිමින් අන්තර් වාර රජයකට බලය පැවරීමෙන් අනතුරුව මැතිවරණය පවත්වන ලෙසටයි.

සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැක්කේ එසේ වුවහොත් පමණක්ය යන්නයි ඔවුන්ගේ විශ්වාශය.

එසේ වුවත් අගමැතිනි ෂෙයික් හසීනා එලෙස අන්තර් වාර රජයකට බලය පැවරීමේ අදහසට එරෙහි වීම විපක්ෂය විසින් සාමූහික උද්ඝෝෂණ ආරම්භ කිරීමට හේතුවයි.

මෙලෙස පැවැත්වූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස බෝම්බ ගැසීම් හා ගිනි තැබීම් ගණනාවක් සිදු වූ අතර මේ වන විට සිය ගණනකට වඩා පිරිසක් මිය ගොස් තිබේ.

පොලිස් පාලනයක්

පොලීසියට ඇති බිය නිසා නම පැවසීමට අකමැති වූ ජාතික පක්ෂ සාමාජිකයෙක් පැවසුවේ රජය බලය අයුතු ලෙස යොදා ගෙන සිය පාක්ෂිකයින් මර්දනය කරන බවයි.

“මෙහෙ තත්වය ඉතාම අවදානම්, සාමාන්‍ය මිනිහෙකුට කලීඩා ෂියා මැතිනියගේ ජාතික පක්ෂයකට සහය පල කරලා තමන්ගේ හැඟීම් ඉදිරිපත් කරන්න විදියක් නැහැ. රජය නීතිය, හා බලය විරුද්ධ පාක්ෂිකයන්ට විරුද්ධව පාවිච්චි කරනව. දැන් මේ රට පොලිස් පාලනය මගින් පීඩනයට පත්වුණු රටක්.”

පසුගිය වසරක පමණ කාලය සලකා බැලීමේ දී ධකා නගරයේ පරිසර තත්වය බොහෝ වෙනස් වී ඇති බවයි විචාරකයන් පවසන්නේ.

මාර්ග බාධක හා ආරක්ෂක නිලධාරීන් නගරය පුරා දක්නට ලැබෙන අතර, බංග්ලාදේශ ජාතික පක්ෂය රැස්වීම් පවත්වන ප්‍රදේශ පුරා විශාල ආරක්ෂක භට පිරිස් සංඛ්‍යාවක් යොදවා තිබීමද සුලභ දසුනකි.

මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කිරීමෙන් පසුවයි අන්තර් වාර රජයකට බලය පවරන ලෙස විරුද්ධ පක්ෂ අගමැතිනි ෂෙයික් හසීනා ගෙන් ඉල්ලා සිටියේ.

දශකයකටත් පෙර කාල වකවානුවක දීයි මෙම අන්තර් වාර පාලන ක්‍රමය හඳුන්වා දී ඇත්තේ.