බංග්ලාදේශ මැතිවරණ දිනයේ දොළොස් දෙනෙක් මරුට

Image caption ඡන්දදායක සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතින

දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මැද පැවැත්වුණු බංග්ලාදේශ මහ මැතිවරණයේදී දොළොස් දෙනකු වත් මරුමුවට පත් වී තිබේ.

මහ මැතිවරණය වෙනුවෙන් ඡන්දදායක සහභාගිත්වය ඉතා අඩු මට්ටමක පැවතින.

මැතිවරණයට පෙර පදවියෙන් ඉල්ලා අස් වී රටේ පාලනය භාරකාර ආණ්ඩුවකට භාර දෙන මෙන් තමන් කළ ඉල්ලීම අගමැතිනි ෂෙයික් හසීනා ප්‍රතික්ෂේප කිරීම හමුවේ ඡන්දය වර්ජනය කරන මෙන් බංග්ලාදේශ ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

බොග්රා දිස්ත්‍රික්කයේ උද්ඝෝෂණයේ යෙදී සිටි විපක්ෂ ආධාරකරුවෝ ඡන්ද මධ්‍යස්තාන අවහිර කොට ඡන්ද පත්‍රිකාවලට ගිණි තැබූහ.

බෝම්බ ප්‍රහාර

"ආයෙත් ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන තුරු අපි ඡන්දේ දාන්න දෙන්නේ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ප්‍රජාතන්ත්‍රවාදයට සහාය දෙන අපි සේරම මේ ඡන්දෙට විරුද්ධයි," යනුවෙන් එක් විපක්ෂ ආධාරකරුවෙක් පැවසීය.

ඡන්ද මධ්‍යස්තාන එක සිය පනහකට අධික ප්‍රමාණයක ඡන්ද විමසීම අත්හිටුවීමටද සිදු වී තිබේ.

ඇතැම් ස්ථානවල ප්‍රචණ්ඩව හැසිරුණු පුද්ගලයන්ට වෙඩි තැබීමට තමන්ට සිදු වූ බවයි, පොලිසිය මේ අතර පවසන්නේ.

මැතිවරණයත් සමඟම ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වනු ඇතැයි ඩකා අගනුවර ඡන්දදායිකාවක් මේ අතර බලාපොරොත්තු පළ කළාය.

"අපිට ඕනේ මේ ඡන්දේ ඉක්මනට ඉවර වෙන්න. මේක ගැටුම් ඇතිවෙච්ච ඡන්දයක්, ඒ නිසා අපිට තව ඡන්දයක් ඕන නෑ," ඇය කියා සිටියාය.

ඩකා අගනුවර ඡන්ද මධ්‍යස්ථානවල බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වූ බවද වාර්තා වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර