බංග්ලාදේශයේ දේශපාලන අවිනිශ්චිත තත්වයක්

  • 6 ජනවාරි 2014

විපක්ෂය විසින් වර්ජනය කරනු ලැබුණ මහමැතිවරණයේ ඡන්ද දායක සහභාගිත්වය ඉතා ම අවම මට්ටමක පැවතුනත් එය නීත්‍යනුකූල මැතිවරණයකැයි බංග්ලාදේශ් අගමැතිනි ෂේක් හසීනා කියා සිටියි.

ඉරිදා පැවැත්වුන බංග්ලාදේශ් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ අති බහුතර ආසන සංඛ්‍යාවක් පාලක අවාමි පක්‍ෂය විසින් දිනා ගනු ලැබ ඇතත් ඡන්දදායක සහභාගිත්වය සියයට විස්සක් තරම් අඩු මට්ටමකයි පැවතුණේ.

ඉරිදා මහ මැතිවරණය ගැටුම් බහුල ප්‍රචණ්ඩ සටනක මුහුණුවර ගනු ලැබුණ අතර, එමගින් දහඅට දෙනකු වත් මරා දැමුණ බවයි වාර්තා වන්නේ.

සරසවි විරෝධතා

විපක්ෂයේ බංග්ලාදේශ් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සඳුදාත් ‘ඩකා’ සරසවි භූමියේ විරෝධතා ව්‍යාපාර ගෙන යමින් සිටි අතර, ආණ්ඩු විරෝධී සටන් පාඨ කියමින් ගල්මුල් ආදියෙන් පහර දෙමින් සිටි ශිෂ්‍යයන්ට ආරක්ෂක හමුදාව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි වාර්තා වන්නේ

බංග්ලාදේශ් ජාතික පක්ෂය මෙම මැතිවරණය ආරම්භයේ පටන් ම අගමැතිනි ෂේක් හසීනා පදවියෙන් ඉවත් ව භාරකාර පාලනයක් යටතේ මැතිවරණය පැවැත්විය යුතු යයි කියා සිටියත්, අගමැතිවරිය එම ඉල්ලීමට එකඟ නො වුණි.

එම තත්වය යටතේ රට පුරාම පැතිර යමින් තිබුණ ප්‍රචණ්ඩ ප්‍රහාර, ගිනි තැබීම් සහ වැඩ වර්ජන ආදිය මැද යි මහ මැතිවරණය පැවැත්වුණේ.

ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය

බංග්ලාදේශ් ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ විධායක අධ්‍යක්ෂ ඉෆ්තෙකර් ෂමාන් ප්‍රකාශයක් කරමින්, ආණ්ඩුව සහ විපක්ෂය අතර හුදු බල අරගලයක් වූ දේශපාලන පොරය මැතිවරණයක් හැටියට හැඳින්වීමට වත් තමා අකමැති බවයි කියා සිටියේ.

“සියලු දේ රඳා පවතින්නේ, පුද්ගලයන් දෙන්නෙක් මත. අපේ රටේ ප්‍රබලම නායිකාවන් දෙන්නා මත. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම, මහජනතාවගේ ඉරණම ඉහළම නායිකාවන් දෙදෙනා අතර පවතින පෞද්ගලික එදිරි වාදයේ ප්‍රාණ ඇපයට පත් වෙලායි කියල කියන්න මම මැලි වෙන්නේ නැහැ.” බංග්ලාදේශ් ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරයේ විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියි.

තවත් මහා වැඩ වැරුමක්

මේ අතර ප්‍රකාශයක් නිකුත් කරන බංග්ලාදේශ් ජාතික පක්ෂය ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන මෙන් බල කරමින් පැය 48 ක තවත් මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන මෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් ‘ඩකා’ අගනුවර වාණිජ කලාපයෙහි සඳුදා කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරුණ බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර