තුර්කිය: පොලිසියේ 350ක් පදවියෙන් පහ කෙරේ

Image caption ඉස්තාන්බුල් පොලිස් ප්‍රධානියා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ගැන පරීක්ෂණ

තුර්කි ආණ්ඩුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව, පොලිසියේ පුළුල් සංශෝධන සිදු කළ ආණ්ඩුව අන්කාරා අගනුවර පොලිස් නිලධාරීන් තුන් සිය පනහකට වැඩි පිරිසක් පදවියෙන් පහ කළේය.

ඉන් අනතුරුව ප්‍රකාශයක් කළ අධිකරණ ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානම ආයතනය වන විනිසුරුවරුන්ගේ සහ ආණ්ඩුවේ නීතිවේදීන්ගේ උත්තරීතර මණ්ඩලය, දූෂණ සහ වංචා විමර්ශනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බව නිවේදනය කළේය.

මෑතදී පත් කරන ලද ඉස්තාන්බුල් නුවර පොලිස් ප්‍රධානියා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් ඇතුළු පිරිසකගේ ක්‍රියාකලාපය ගැන පරීක්ෂණ පවත්වන බවයි, උත්තරීතර මණ්ඩලය පවසන්නේ.

තම ආණ්ඩුවේ සාමාජිකයන්ට එරෙහිව පැවැත්වෙන දූෂණ, වංචා විමර්ශනය පොලිසිය සහ අධිකරණය විසින් දියත් කරන මඩ ගැසීමේ ව්‍යාපාරයක් බවයි අගමැති රෙජෙප් තයීප් අර්දොවාන් පවසන්නේ.