ලුම්බිණියට එන විදේශික බැතිමතුන්ගේ ගණන අඩුවෙයි

Lumbini Temple
Image caption ලුම්බිණියට වැඩිම වන්දනා කරුවන් පිරිසක් එන බෞද්ධ රට ශ්‍රී ලංකාවයි.

බුදුන් වහන්සේ උපත ලැබූ ස්ථානය ලෙස සැලකෙන නේපාලයේ ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණෙන විදේශික බැතිමතුන්ගේ සංඛ්‍යාව මේ දිනවල අඩුවී ඇති බව ලුම්බිණි සංවර්ධන පදනම පවසයි.

මෙලෙස සංචාරකයන් ගේ පැමිණීම අඩු වීම ප්‍රදේශයේ ව්‍යාපාර වලටද බලපා ඇති බවටයි නේපාලයේ සංචාරක කර්මාන්තය පිලිබඳ විශේෂඥයෙක් වන මහාචාර්ය ගිතු තිවාරි ප්‍රකාශකොට තිබුණේ.

පසු ගිය වසරේ ලුම්බිණියට පැමිණි විදේශීය සංචාරකයින් (ගමන් බලපත්‍ර ඇතිව පැමිණි අය) ගේ සංඛ්‍යාව එක් ලක්ෂ තිස් හය දහසක් වූ අතර රටවල් අනූවකට අයත් සංචාරකයන් පිරිසක් ඒ අතර වූ බවයි ලුම්බිණි සංවර්ධන පදනමේ හරිධෝජ් රාජ් පවසන්නේ.

වැඩිම පිරිසක් එන්නේ ශ්‍රී ලංකාවෙන්

පසුගිය වසරේ ලුම්බිණිය ට වැඩිම වන්දනා කරුවන් පිරිසක් පැමිණි බෞද්ධ රටවල් වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය, බුරුමය, දකුණු කොරියාව, වියට්නාමය හා ජපානයයි.

ඒ අතරින් වැඩිම පිරිසක් වන අනු දෙදහස් හයසිය හැත්තෑ එක දෙනෙක් ශ්‍රී ලංකාවේ සිට පැමිණියවුන් බව ලුම්බිණි සංවර්ධන පදනම මගින් එළි දක්වා ඇති දත්තයන් මගින් තහවුරු වේ.

නේපාල රජය විසින් 2012 අවුරුද්ද නම් කර තිබුණේ “ලුම්බිණිය සංචාරය කිරීමේ වසර” නමින්.

ඒ වෙනුවෙන් විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් රජය මගින් දියත් කර තිබුණු අතර ඒ නමින් වෙබ් අඩවියක්ද විවෘත කර තිබිණි.

ඒ හේතුවෙන්ම එම වසරේදී ලුම්බිණියට පැමිණි සංචාරකයන්ගේ ගණන 35% කින් ඉහළ ගොස් තිබුණි.

බුද්ධගයා බෝම්බ පිපිරීම හේතුවක්

එසේ නම් ලංකාවෙන් යන බැතිමතුන් ගේ ගණන අඩු වීමේ විශේෂ හේතුවක් තිබේද යන පැනයට පිළිතුරු ලෙස රාජ් පැවසුවේ මෑතක දී බුද්ධ ගයාවේ සිදුවූ බෝම්බ පිපිරීම් සහ ශ්‍රී ලංකික වන්දනාකරුවන්ට දකුණු ඉන්දියාවේදී සිදුවූ පහර දීම් යන ප්‍රධාන කරුණු දෙක ඊට හේතු වූ බවයි.

ශ්‍රී ලංකාවේ වන්දනා කරුවන් ඉන්දියාවේ හා නේපාලයේ වන්දනා කිරීමට බියක් දක්වන අතර 90% කටත් වඩා ශ්‍රී ලංකික වන්දනා කරුවන් ලුම්බිණියට පැමිණෙන්නේ ඉන්දියාව හරහා බැවින් ඉන්දියාවෙන් ඇතුලු වෙන වන්දනා කරුවන්ගේ සංඛ්‍යාවේත් අඩුවීමක් පෙන්වන බව ඔහු වැඩි දුරටත් පවසයි.

ශ්‍රී ලංකාවෙන් පමණක් නොව බුරුමයෙන් එන වන්දනා කරුවන් ගේ ගණනත් අඩුවීමට බුද්ධ ගයාවේ සිදුවූ බෝම්බ පිපිරීම සහ බුරුම ජාතික වන්දනා කරුවන් රැගෙන යන සංචාරක බස් රථයක බෝම්බයක් සවි කර තිබීම වැනි කරුණු හේතු වී ඇති බව ඔහු පවසයි.

විදේශික සංචාරකයෝ මෙන්ම ලුම්බිණියට සංචාරය කරන ඉන්දියානුවන් ගේ සංඛ්‍යාවද ඉතා විශාලය.පසු ගිය වසරේ පැමිණි ඉන්දියානු සංචාරකයින් ගණන එක්ලක්ෂ විසි දෙදාහක් පමණ වන බවයි පැවසෙන්නේ.

කෙසේ වුවද රාජ් පවසන්නේ දැන් බුද්ධ ගයාව ඇතුළු සියලු බෞද්ධ සිධස්ථාන ආරක්ෂා සහිතයි බවයි.

ලුම්බිණිය හා බුද්ධ ගයාව ඇතුළු සිද්ධස්ථාන වන්දනා කිරීමේ බලා පොරොත්තුවෙන් සිටින අයට මෙය සතුටු දායක ආරංචියක් විය හැකියි.