වංචා චෝදනා ලැබූ ඉන්දීය නිලධාරිනිය සියරට එයි

Image caption තමන්ට එරෙහි චෝදනා දිව්‍යානි කෝබ්‍රාගාඩේ ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේදී අත් අඩංගුවට ගන්නා ලද ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය පෙරලා සිය රට බලා පිටත් විය.

පසුගිය මාසයේදී දිව්‍යානි කෝබ්‍රාගාඩේ අත් අඩංගුවට ගැනීම ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර මතභේදයකට තුඩු දුන් අතර, සිය රට බලා යන මෙන් ඇමෙරිකානු බලධාරීන් ඇයට දැනුම් දී තිබේ.

එක්සත් ජනපදයෙන් පිටත් වීමට ප්‍රථම, සිය නිවසේ මෙහෙකාරියට ගෙවූ මුදල පිළිබඳව අසත්‍ය ප්‍රකාශ කිරීමේ සහ වීසා වංචා චෝදනා යටතේ ඇයට එරෙහිව නඩු පවරනු ලැබිණ.

දිව්‍යානි කෝබ්‍රාගාඩේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ඇයට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය ප්‍රදානය කිරීමට වොෂින්ටන් බලධාරීහු එකඟ වූහ.

එම සම්මුතියත් සමඟ අර්බුදය සමතයකට පත් වනු ඇතැයි දෙපාර්ශවයම බලාපොරොත්තු වන බවයි, රාජ්‍යතාන්ත්‍රික කටයුතු භාර බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.

කෙසේ නමුත් ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර පවතින අනවබෝධයේ ප්‍රමාණය මෙම අර්බුදය මගින් එලි දැක්වුණු බවද වාර්තාකරු පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර