‘බ්‍රෙන්ට්’ ළමා මරණ පරීක්‍ෂණ සඳුදා

Image caption මළ සිරුරු හමුව ඇත්තේ මෙම තට්ටු නිවාසයෙන්.

ලන්ඩන් නගරයේ වයඹ කලාපයෙහි ජීවත් වූ ශ්‍රී ලාංකික දෙමළ සම්භවයක් සහිත යයි බ්‍රිතාන්‍ය මාධ්‍ය මගින් වාර්තා කරනු ලැබ ඇති පවුලක මරණ තුනක් සම්බන්ධයෙන් ස්කොට්ලන්යාර්ඩ් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.

‘බ්‍රෙන්ට්’ නාගරික පාලන ප්‍රදේශයේ ‘වුඩ්ග්‍රේන්ජ්’ මාවතේ තට්ටු නිවාසයකයි මරණ තුන සිදු ව තිබෙන්නේ.

දැනුම් දීමක් අනුව එම තට්ටු නිවාසය පිරික්සීමේ දී තිස්තුන් හැවිරිදි කාන්තාවකගේ සහ වයස මාස හතක සහ අවුරුදු පහක ළමුන් දෙදෙනකුගේ මළ සිරුරු හමු වූ බව පොලිසිය ප්‍රකාශ කරයි.

මරණයට පත් කාන්තාවගේ සැමියා පසුගිය බ්‍රහස්පතින්දා නිවසට ලඟා වූ අවස්ථාවේ මළ සිරුරු දැක ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ගෙල සිර වීමකින් කාන්තාවගේ මරණය සිදු වී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීන්දු කරනු ලැබ ඇති අතර, එම මරණය සම්බන්ධයෙන් වෙනත් පාර්ශවයක් සම්බන්ධ වී ඇති බවට මෙතෙක් සැකයක් මතු වී නැති බවත්, ළමුන් දෙදෙනා ගේ මරණ මිනී මැරුම් හැටියට සලකන බවත් පොලිසිය පවසයි.

ළමුන්ගේ මරණ වලට හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.