උතුරු රදගුරු දෙපළට කොළඹ රදගුරු විරෝධය

සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී යුද හමුදාව වන්නියට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් උතුරේ රදගුරු හිමිවරුන් විසින් කර තිබූ ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ අදහස් නොවන බව කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක පියතුමා පවසයි.

යාපනය රදගුරු තෝමස් සෞන්ද්‍රනායගම් සහ මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඇමෙරිකානු තානාපති ස්ටීවන් ජේ රැප් සමඟ පළ කොට ඇති අදහස් ‘පෞද්ගලික මත දැක්වීම්’ බවයි, බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා කියා සිටියේ.

යුද්ධයේ අවසන් අදියරේ දී ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි මෙන් ම පොකුරු බෝම්බ වලින් ද පහර දුන් බවට යාපනය සහ මන්නාරම රද ගුරු දෙ පළ පළ කර තිබුණ අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාරය දක්වමින් කොළඹ රදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමා මාධ්‍යයට කියා තිබුණේත් රදගුරු හිමිවරුන් දෙ පල කරන චෝදනා ශ්‍රී ලංකා කතෝලික සභාවට අනුමත කළ නො හැකි බවයි.

පොකුරු බෝම්බ ප්‍රහාර

Image copyright US Embassy Colombo
Image caption ඇමෙරිකානු නියෝජිතයෝ වන්නි සංචාරයේ.

යාපනයේ සහ මන්නාරම රදගුරු හිමි වරුන්ගේ මතභේදාත්මක ප්‍රකාශන උන්වහන්සේලාගේ පෞද්ගලික මත අනුව සිදු කෙරුණ ඒවා වන බවයි, කාදිනල් මැල්කම් රංජිත් අවධාරණයෙන් කියා සිටින්නේ.

බීබීසී ය සමඟ වැඩිදුරටත් අදහස් දැක් වූ කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝසප් පියතුමා, යුද්ධයක දී ඊට මැදිහත් දෙපාර්ශ්වය විසින් යොදා ගනු ලබන උපක්‍රම සහ ක්‍රම වේදයන් එක්තරා දුරකට පිළි ගැනීමට සිදු වෙන බවත්, එම යුද්ධයේ දී මහජනතාවට හානි සිදු වූ බවට හුදු ප්‍රකාශන පමණක් නො කොට ප්‍රමාණවත් සාක්ෂි සහිත ව ඒවා සනාථ කළ යුතු බවයි සඳහන් කළේ.

“රදගුරු දෙපළ ගේ ප්‍රකාශන මගින් එම කාරණය ඉටු වන්නේද යන්න සොයා බැලිය යුතුව තියෙනවා”යයි බෙනඩික් ජෝෂප් පියතුමා පවසයි.

පෞද්ගලික මතාන්තර

Image caption යුද විනාශයෙන්.

යාපනය සහ මන්නාරම රදගුරු හිමිවරුන්ගේ ප්‍රකාශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය ගනු ලබන ක්‍රියා මාර්ගය පිළිබඳව විමසූ විට බෙනඩික් ජෝෂප් පියතුමා සඳහන් කළේ, ගනු ලබන පියවර කෙබඳු එකක් ද යන්න සම්බන්ධයෙන් දැනට ස්ථාවරයක් නොමැති බවයි.

රදගුරු වරයකුට පෞද්ගලික මට්ටමින් තම මතයද ,අනිත් අතින් කතෝලික සභාවේ මතය ද ප්‍රකාශ කළ හැකි අතර, ඇමෙරිකානු නියෝජිතයන් සමඟ යාපනය සහ මන්නාරම රදගුරු දෙපළ විසින් සිදු කරනු ලැබ තිබෙන්නේ උන්වහන්සේලාගේ පෞද්ගලික මත පළ කිරීමක් වන බවයි, කොළඹ රදගුරු මණ්ඩලයේ ප්‍රකාශක බෙනඩික් ජෝෂප් පියතුමා වැඩි දුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර