ඉන්දීය ඇමති බිරිඳ අබිරහස් ලෙස මිය ගිහින්

Image copyright
Image caption වංචා චෝදනා හමුවේ ශෂී තරූර් 2010 දී නියෝජ්‍ය ඇමති පදවියෙන් ඉල්ලා අස්විය

ඉන්දීය කැබිනට් අමාත්‍ය ශෂී තරූර් වෙනත් කාන්තාවක සමඟ සම්බන්ධතාවයක් පවත්වන බවට මාධ්‍ය වාර්තා පළ වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ ගේ මල සිරුර හමු වූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

දිල්ලි අගනුවර හෝටලයකදී සුනන්දා පුෂ්කාර් ගේ මල සිරුර හමු වූ බවයි, මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මානව සම්පත් සංවර්ධන අමාත්‍ය ශෂී තරූර්ගේ පෙම් සබඳතාවය පසුගිය දින කිහිපය තුල විශේෂයෙන්ම ට්විටර් ජාලය ඔස්සේ සාකච්ඡාවට බඳුන් වී තිබිණ.

කලින් ඩුබාහි නුවර විසූ ව්‍යාපාරික කාන්තාවක වන සුනන්දා පුෂ්කාර් සහ ශෂී තරූර් 2010 දී යුග දිවියට පිවිසියහ.

අයිපීඑල් ඉන්දීය ප්‍රීමිය ලීගයේ ක්‍රිකට් සමාජයක් මිලදී ගැනීමට උත්සාහ කළ අවස්ථාව හා සම්බන්ධව දූෂණ චෝදනා එල්ල වීම හමුවේ ශෂී තරූර් එවකට දැරූ නියෝජ්‍ය ඇමති පදවියෙන් ඉල්ලා අස්විය.

ඔහු මිලදී ගැනීමට උත්සාහ කළ ක්‍රීඩා සමාජයේ කොටස් නොමිලේ ලබා ගත් බවට සුනන්දා පුෂ්කාර්ට චෝදනා එල්ල විය.