ජල දූෂණයට එරෙහි ඇඹිලිපිටිය ජන හඬ

Image caption පානීය ජලය දූෂණය නොකරන ලෙස ඉල්ලමින්.

ග්‍රාම සේවා වසම් දාහතක පවුල් තුන් දහසක පානීය ජල මූලාශ්‍රයට කුණු නොදමන ලෙස බල කරමින් ඇඹිලිපිටිය නගරයට සිකුරාදා රැස්වූ දෙදහසකට වැඩි ජනකායක් විරෝධතාවක නිරත වීම නිසා නගරයේ සියලු කටයුතු පැය ගණනාවක් ඇණ හිටින තත්වයක් උදා විය.

චන්ද්‍රිකා වැව ඉස්මත්තේ වසා දමා ඇති ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අයත් ඉඩමක නගරයෙන් එකතු කරන කුණු දැමීමෙන් තම ගම්වලට සපයන ජලය අපවිත්‍ර වීම නිසා දින ගණනක සිට තමන්ට බීමට ජලය නැති බවයි විරෝධතාවාදීන් කියා සිටියේ.

ජල දූෂණයක්

වැසි දිනවල කුණු ගොඩවල් දිය වී චන්ද්‍රිකා වැව දකුණු ඇලට ගලා යාමෙන් තම ගම්මානවල පානීය ජල මුලාශ්‍ර අපවිත්‍ර ව රෝග බෝ වන තත්ත්වයක් පවතින බවත් ඔවුහු පෙන්වා දුන්හ.

තම ඉල්ලීම් ඉටු කිරීම වෙනුවට අධිකරණ නියෝග ලබාගෙන කුණු දැමීම දිගටම කරන්නට නගරයේ බලධාරීන් කටයුතු කරන බව මහජනයාගේ චෝදනාවයි.

විරෝධතාවාදීන් ඇඹිලිපිටිය ඔරලෝසු කණුව ඉදිරිපිට නගර මධ්‍යයේ පාරවල් තුනක් අවහිර කරමින් මහමග වාඩි වී පැය දෙකකට ආසන්න වෙලාවක් විරෝධතාවය පළ කරමින් සිටි නමුත් ඔවුන්ගේ ඉල්ලීම් වලට කන්දීම සඳහා කිසිදු බලධාරියකු නො පැමිණි බවයි, අජිත්ලාල් ශාන්ත උදය බීබීසී සංදේශයට වාර්තා කරන්නේ.

පොලිසියෙන් බාධාවක් නැහැ

Image caption නගරය මැද ටයර් පුළුස්සමින්.

“පසුව විරෝධතාකරුවෝ උඩගම හන්දියට ගොස් මාර්ගය හරස් කර ටයර් පුළුස්සමින් හැසිරෙන්නට පටන් ගත්තා. බලධාරීන්ගේ නිහඩ බව නිසා උද්ඝෝෂකයන් ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන්නට පටන් ගත් අතර පොලිස් නිලධාරීන් නිහඩව බලා සිටිනු දක්නට ලැබුණා.”අජිත්ලාල් ශාන්ත උදය වාර්තා කරයි.

මාසයක කාලයක් කුණු නො දමන බවට ඇඹිලිපිටිය නගරාධිපති වේවැල්දුවේ ඥානප්‍රභ හිමියන් අත්සන් කළ ලිපියක් විරෝධතාවාදීන් අතට පත් කරනු ලැබීමෙන් පසුව,මසක කාලයක් තුළ යළිත් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් විරෝධතාව නතර කෙරුණ බවයි වාර්තා කෙරුණේ.

එහෙත් ලක්ෂ 180ක් වැය කරමින් පිහිට වූ කසල ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම ඉවත් කළ නො හැකි බවයි නගරාධිපති වේවැල්දුවේ ඥානප්‍රභ හිමියන් පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර