සීත ඔලිම්පික් උළෙලට 'බෝම්බ ප්‍රහාර සැලසුමක්'

  • 2014 ජනවාරි 22
Image copyright AP

රුසියාවේ සෝචි නගරයේ පැවැත්වීමට නියමිත සීත ඍතු ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙන කාලය තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට සැක කෙරෙන කාන්තාවක් සොයමින් මේ දිනවල රුසියානු පොලීසිය විසින් මෙහෙයුම් දියත්කර තිබේ.

අවුරුදු විසි දෙකක් හෝ විසි තුනක් වන රුෂානා ඉබ්‍රගිමෝවා (Ruzanna Ibragimova) උතුරු කොකේසියාවේ දගෙස්ථානයේ පදිංචි කාරියක් බවයි පැවසෙන්නේ.

දගෙස්ථානය දැනට මෙම කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදුවන සෝචි නගරයට සැතපුම් සිය ගණනක් බටහිරින් පිහිටි ප්‍රදේශයක්.

නිශ්චිත තොරතුරු නැහැ

පසුගිය වසරේ මිය ගිය ඉස්ලාම් අන්තවාදී සටන්කාමියකු ගේ බිරිඳ බවට විශ්වාස කෙරෙන රුෂානා සෝචි නගරය වටකොට ඇති දැඩි ආරක්ෂක වළල්ලෙන් මිදී යාමේ අවදානමක් ඇතැයි රුසියානු පොලීසිය දැඩි සුපරීක්ෂාවෙන් පසුවන බවයි මොස්කව් නුවර සිටින බී බී සී යේ ස්ටීව් රොසෙන්බර්ග් පැවසුවේ.

එහෙත් රුෂානා සෝචි නගරයේ සිටින බවට නිශ්චිත තොරතුරු නැති බව පවසන රුසියානු බලධාරීන් ලැබෙන සෑම තොරතුරක් ම සලකා බලා ඇය ව සොයා ගැනීමට වෙහෙසෙන බව පවසයි.

Image copyright Getty

ඉතිහාසයේ වඩාත් ම ආරක්ෂා සහිත සිසිර තරඟාවලිය මෙය වන බවට සහතික වන රුසියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව අවධාරණය කර තිබේ.

තවත් අයගෙන් තර්ජන

චෙච්නියානු සටන්කාමීන්ගේ නායකයා ද තර්ජනය කර ඇත්තේ මෙම තරඟාවලියට ප්‍රහාරයක් එල්ල කරන බව පවසමින්.

මේ අතර පසුගිය මාසයේ වොල්ගග්‍රාඩ් වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල කළ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමත් සෝච් හි පැවැත්වෙන තරඟාවලියට පහර දෙන බව කියා තිබේ.

දස දහස් ගණනක පොලිස් බල ඇණියක් සහභාගිත්වයෙන් විශාල ආරක්ෂක වැඩ පිළිවෙළක් සෝචි ප්‍රදේශය තුළත් ඉන් පිටතත් ක්‍රියාත්මක වන්නේ තරඟාවලිය සත්කාරකත්වය සඳහා තෝරා ගැනෙන විටත් ආරක්ෂාව පිලිබඳ විශාල ප්‍රශ්නයක් ඇති බව රුසියාව දැන සිටි බවයි ස්ටීව් පවසන්නේ.

විශේෂ ආරක්ෂක කලාප නම් කොට සෝචි නගරය වටා ඇති එක් කලාපයක් තහනම් කලාපයක් බවට නම් කොට ඇත්තේද එනිසා බව ඔහු පවසයි.

ඒ සමගම දින කීපයකට කලින් රුසියානු ජනාධිපති පුටින් ප්‍රකාශ කොට තිබුණේ රුසියානු බලධාරීන් අරගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව ඔහුට විශ්වාසයක් ඇති බවයි.