තායි දියඹේ ධීවර වහල්ලු

තායිලන්ත මුහුදේ බෝට්ටුවක් Image copyright MCOT
Image caption තායිලන්ත මුහුදේ බෝට්ටුවක්

ලෝක මත්ස්‍ය නිෂ්පාදන වෙළඳපළේ තුන්වැනි තැන හිමිකර ගන්නේ තායිලන්තයයි . එසේ වුවද තායිලන්ත ධීවර කර්මාන්තය පිටුපස වහල් සේවයක් පවතින බවට චෝදනාවක් පවතී.

“හියුමන් රයිට්ස් වොච්” අයතනයේ ෆිල් රොබට්සන් එම වහල් සේවයට ගොදුරු වූ ධීවරයන් සිය ගණනක් මුණ ගැසී ඔවුන් සමග සාකච්ඡා පවත්වා විශේෂ වාර්තාවක් සකස් කොට ඇත.

ඇමරිකාවේ, යුරෝපයේ හෝ බ්‍රිතාන්‍යයේ කෑම පිඟානකට ලැබෙන මත්ස්‍ය නිෂ්පාදනයක පසුබිමේ සිටින්නේ තායිලන්තයේ වහල් සේවයේ යොදවනු ලැබ ඇති අසරණ ධීවරයකු සිටිය හැකි බවයි ඔහු පවසන්නේ.

“ප්‍රශ්නය වන්නේ ධීවර කර්මාන්තයේ දී වහලුන් යොදා ගැනීම ඉතාමත් සැලසුම් සහගතව සිදු වන බැවින් බාහිර ලෝකයට අනාවරණය නොවීම . ධීවර වහළුන් කාර්යක්ෂම නැතැයි සිතුණ හොත්, එසේත් නැත්නම් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් නැතැයි සිතුනොත් ඔවුන් ව මරා මුහුදට දැමීමයි සිදුවන්නේ. කිසිවෙක් එය දැන ගන්නේ නැහැ.” ෆිල් රොබට්සන් වැඩිදුරටත් පවසයි.

වැඩ නොකළොත් මරණය

තායිලන්ත ධීවර වහල් වෙළඳාමේදී වැඩිම මිලක් ගෙවනු ලබන්නේ කම්පුචියාවෙන් හෝ බුරුමයෙන් පැමිණි නීති විරෝධී සංක්‍රමනිකයන් වෙනුවෙන්.

වැටුප් ලැබීමකින් තොරව කළ වහල් සේවයෙන් මිදී පළා ආ අයෙක් පවසා තිබුණේ, එසේ පළා යාමට තැත් කළ බොහෝ ධීවරයින් මරා දමා ඇති බවයි.

“දවසකට තුන් සැරයක් දැල් අදින්න ඕන. ඉක්මනින් වැඩ නොකොළොත් අපට තලනව නොසැහෙන්න. ඔලුවටමයි ගහන්නෙ. ගහන්න එකක් නැතිනම්, පයින් ගහනවා”. පළා ආ ධීවර වහලා පැවසීය.

“බොහෝ විට තමන්ගෙ රටවල රැකියාවක් හොයා ගන්න බැරි වුන නීති විරෝධී සංක්‍රමණිකයන්ට ලැබෙන පොරොන්දුව තායි කම්හලක රැකියාවක්. නමුත් තායිලන්තයට පැමිණි පසු ඔවුන්ට සිදු වන්නේ ධීවර යාත්‍රාවක වහල් සේවයයි.” ඔහු වැඩිදුරටත් කියා සිටියි.