‘මහජන කැමැත්ත මිලයි’ මැතිවරණ කොමසාරිස්

Image copyright ITN

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පොලිසියට සහ අධිකරණයට පමණක් යයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.

මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ සූදානම පිළිබඳව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීයි, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම ප්‍රකාශය කළේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ දී එක් ලියාපදිංචි ඡන්දදායකයකුට මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් දෙසීයකට අසන්න මුදලක් වැය කරන බවයි මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

"එක ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දෙසීයක් විතර වියදම් වෙනවා. ඒ ගණන වැඩියි කියල සමහරු කියනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය මිලයි. මහජනයාගේ කැමැත්ත මිලයි. ඒවා නොමිලේ ගැනීම අමාරුයි."මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය එම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මිළ

Image caption නීති විරෝධී මැතිවරණ දැන්වීම් ඉවත් කරන අවස්ථාවක්

මහජනතාව ඡන්දය ප්‍රකාශ නො කිරීමේ ප්‍රවණතාවක් ඇතිවී තිබෙන බව පවසන මැතිවරණ කොමසාරිස්වරයා, “ඡන්දය ඔබේ අයිතියයි” යන තේමාව යටතේ ඡන්දයේ වැදගත්කම ජනතාවට පහදා දෙන වැඩසටහනක් ළඟදීම ආරම්භ කරන බවත් සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණ සියල්ල එකවර පැවැත්වීමෙන් මැතිවරණයට යන වියදම අඩු කර ගත හැකි දැයි විමසූ විට ඊට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ මැතිවරණ සියල්ල එකවර පවත්වනු ලැබුවත් වියදමේ විශාල වෙනසක් සිදු නොවන බවයි.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බලා පොලිසියට තොරතුරු වාර්තා කිරීම සඳහා සෑම පොලිස් කොට්ඨාසයකට සිවිල් නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් පත් කිරීමටද මැතිවරණ දෙපාර්ත මේන්තුව තීරණය කල බවයි කොමසාරිස්වරයා පවසන්නේ.

"වැරදි වලට දඬුවම් කිරීමේ බලය තියෙන්නේ අධිකරණයට හා පොලිසියටයි. කටවුට් පෝස්ටර් ගහන්න පුළුවන් අපේක්ෂකයා ගමන් ගන්න වාහනේ විතරයි. ඒ සේරම වැරදි පාලනය කල යුත්තේ පොලිසිය විසිනුයි " මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියි.

ඡන්දය සහ ජිනීවා

Image caption ඡන්ද පෙට්ටි ගණන් කෙරෙන මධ්‍යස්ථානයක් කරා

ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙන මාර්තු විසි අට වෙනි දිනට ආසන්න දිනයක මෙම මැතිවරණය යොදාගැනීමට රජය කටයුතු කරන්නේ ජිනීවා ප්‍රතිඵලය පෙන්වා ඡන්ද ලබාගැනීමට වන බවට විපක්ෂය නගන චෝදනාව පිළිබඳව සංදේශය කළ විමසුමකට පිළිතුරු දුන් මැතිවරණ කොමසාරිස්වරයා,

" දිනය බලල මිනිස්සු ඡන්දේ දෙන්නේ නැහැ .ඔවුන් ඡන්දේ දෙන්නේ පක්ෂවල ප්‍රතිපත්ති වලට.මට මැතිවරණ කොමසාරිස් හැටියට සමහර දේවල්වලට උත්තර දෙන්න බැහැ" යනුවෙනුයි පිළිතුරු දුන්නේ.

2013 ජූලි පළමු වෙනිදා ට පසු කොළඹ නගරයේ කඩා ඉවත් කළ නිවාසවල විසූ ජනතාවගේ ඡන්ද එම ස්ථානය සඳහාම ලියාපදිංචි කොට ඇති බවත් ඔවුන්ට තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් අදාල නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි.