රාසා සුදර්ශන්ගේ පෙත්සම විභාගයට

Image copyright Sri Lanka Supreme Court

එල්.ටී.ටී.ඊ සාමාජිකයකු යයි සැක කොට පුනරුත්ථාපනය කොට නිදහස් කළ සැකකරුවකු නැවතත් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති වරයාට නියෝග කළේය.

කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි රාසා සුදර්ශන් නමැති සැකකරුවකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ.

පෙත්සම් කරු පවසන්නේ, ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත යටතේ 2008 වසරේ දී අත්අඩංගුවට ගනු ලැබූ තමා වසරක පුනරුත්ථාපනය ක්‍රියාවලියකට යටත් කිරීමෙන් පසුව 2010 වසරේ දී මුදා හැරුණ බවයි.

අනතුරුව කිසිදු හේතුවක් නොදන්වා පසුගිය 2012 වසරේ අප්‍රේල් මස දාහතර වැනිදා පොලිසිය නැවතත් තමා අත්අඩංගුවට ගත් බව පවසන රාසා සුදර්ශන්, එතැන් පටන් මේ දක්වා කිසිදු නඩු විභාගයකට තමා යොමු නොකරමින් රිමාන්ඩ් සිර භාරයේ තබා ඇති බවයි, සිය පෙත්සම මගින් කියා සිටින්නේ.

පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේ ප්‍රශ්නයක් මතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්ඩලය, පුනරුත්ථාපනය කර නිදහස් කළ සැකකරුවකු යළි අත්අඩංගුවට ගන්නා ලද්දේ කිනම් හේතූන් මතදැයි රජයේ නීතිඥයාගෙන් ප්‍රශ්න කළේය.

පුනරුත්ථාපන සැකය

ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥයා කියා සිටියේ, මෙම සැකකරු නිදහස් කිරීමට හැකියාවක් තිබේ දැයි සොයා බැලීම සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව, පෙත්සම අප්‍රේල් මස පළමුවැනි දා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය, රාසා සුදර්ශන් යළි අත්අඩංගුවට ගනු ලැබීම සම්බන්ධයෙන් වාර්තාවක් එ දින ඉදිරිපත් කරන මෙන් රජයේ නීතිවේදියාට නියම කළේය.

දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යපාරයේ කැඳවුම්කරු නීතිවේදී නාමල් රාජපක්ෂ පවසන්නේ, ඉහත කී ආකාරයේ ක්‍රියා මගින් රජයේ පුනරුත්ථාපන ක්‍රියාදාමය පිළිබඳව ප්‍රශ්න මතු වන බවයි.

දෙමළ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ අවංක උවමනාවක් රජයට නොමැති බව පවසන නීතිවේදී නාමල් රාජපක්ෂ, ආණ්ඩුවේ ක්‍රියාවලිය පිළිබඳව සැක මතුවන බවත් කියා සිටියි.