ඇෆ්ඝනිස්තානය ජනපතිවරණයට සැරසෙයි

Image caption මැතිවරණය, ඇෆ්ඝන් හමුදාවල කාර්යක්ෂමතාවය උරගා බැලෙන 'පරීක්ෂණයක්'

ජනාධිපති හමීඩ් කර්සායිගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීමේ ජනපතිවරණයට මාස දෙකක් තිබියදී ජනපතිවරණ අපේක්ෂකයෝ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ.

2001 දී බලයට පත් වුනු ජනාධිපති කර්සායිට තවත් වතාවක් මැතිවරණයට ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් අවසර නැත.

එහි සිටින විදේශීය හමුදා මේ වසරේ ඉවත් කර ගැනීමට නේටෝව සැරසෙන බැවින්, ඇෆ්ඝන් ආරක්ෂක හමුදාවල කාර්යක්ෂමතාවය උරගා බැලෙන පරීක්ෂණයක් ලෙසිනුයි මෙම මැතිවරණය සැලකෙන්නේ.

'අපහාස කළා'

ජනපතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයකු වන අබ්දුල්ලා අබ්දුල්ලා ගේ ආධාරකරුවන් දෙදෙනකු සෙනසුරාදා වෙඩි තබා මරා දමා තිබුණි.

මේ අතර, බ්‍රිතාන්‍ය හමුදා කිසි දිනක හෙල්මන්ඩ් පළාතට නොපැමිණියේ නම් වඩා යහපත් බව ප්‍රකාශ කිරීම මගින් ජනාධිපති හමීඩ් කර්සායි සිය පුතාගේ සොහොන් කොතට කෙළ ගැසූ බවට ඇෆ්ඝනිස්තානයෙදී ඝාතනයට ලක් වූ බ්‍රිතාන්‍ය සොල්දාදුවකුගේ මව චෝදනාකොට තිබේ.

ලන්ඩනයේ පළ වන සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය ඇෆ්ඝනිස්තාන් යුද්ධයේදී දිවි පිදූ සියලු දෙනාට කරන ලද අපහාසයක් බවයි, ජැකී ජේන්ස් පවසන්නේ.

2001 සිට මේ දක්වා බ්‍රිතාන්‍ය සොල්දාදුවන් 447 ක් ඇෆ්ඝන් යුද්ධයේදී ඝාතනයට ලක් වී තිබේ.