මොස්කව් සිසු වෙඩි පහරින් මරණ දෙකක්

Image copyright Reuters
Image caption ප්‍රාණ ඇපයේ සිටි ළමුන් මුදා ගනිමින්

ලකුණු මදි වීම නිසා ගුරුවරයකු සමඟ විරසක වූ පාසල් ශිෂ්‍යයෙක් රුසියාවේ මොස්කව් අග නුවර පාසලකට කඩා වදිමින් සිදු කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරා දැමුණි.

මරා දමනු ලැබ තිබෙන්නේ නිලධාරියෙක් සහ පාසල් ගුරුවරයෙකි.තවත් නිලධාරියකු තුවාල ලැබ ඇති බවත් වාර්තා වෙයි.

වෙඩික්කරු එම පාසලේම අධ්‍යාපනය ලබමින් සිටි සෙර්ගේයි ගොර්දියෙෆ් නම් ශිෂ්‍යයා බව ප්‍රහාරයට ගොදුරු වූ පාසල නිවේදනය කොට ඇත.

වෙඩි තැබීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සිසුන් විසි දෙනෙකු පමණ රඳවා ගෙන සිටි ශිෂ්‍යයා නිරායුධ කොට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

රැකවරණ ගැන සැකයක්

ප්‍රාණ ඇපයට ගෙන තිබුණ සිසුන් හාණියකින් තොරව මුදාගත් බවත් මොස්කව් නගරයෙන් ලැබෙන වාර්තාවන්හි දැක්වෙයි.

නගරයේ සියලුම පාසල්වලට අතිරේක ආරක්ෂක විධිවිධාන යොදන බව මොස්කව් නගරාධිපතිවරයා පවසයි.

ලබන සිකුරාදා රුසියාවේ ආරම්භ වීමට නියමිත ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙලේ ආරක්ෂක තත්වය පිළිබඳව සැක පළ වෙමින් තිබියදීයි, එම වෙඩි තැබීම සිදු කෙරුණේ.

ඔලිම්පික් හිම ක්‍රීඩා ආරම්භවීමට නියමිතව තිබියදී රුසියාව පුරාම ආරක්ෂක රැකවරණ තර කරනු ලැබ ඇත.