ළමා දූෂක පූජක පදවි අහිමි කරනු - එජාස

Image copyright NA

ඇතැම් පූජකවරුන්ට ළමුන් අපහරණය කිරීමට මග සැලසෙන පිළිවෙත් වතිකානය විසින් අනුගමනය කරනු ලැබීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දැඩි දෝෂ දර්ශනයට ලක් කරනු ලැබ ඇත.

එවැනි පිළිවෙත් නිසා දස දහස් ගණනින් ළමුන් පූජක වරුන්ගේ ලිංගික අපහරණයට සහ පීඩාවන්ට භාජනය කෙරෙන බවයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.

ළමා හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ඉතා දුර්ලභ, එසේම රළු හා විවේචනාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටින්නේ, ළමා දූෂකයන් ලෙස හංවඩු ගැසුණ සහ ඒ සම්බන්ධයෙන් සැක කෙරෙන පූජකයන් වහාම ආගමික සභාවෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවයි.

වන්දි ගෙවන්න

එවැනි පූජකයන් පදවි වලින් නෙරපා හරිමින් සිවිල් පාලන බලධාරීන්ට ඔවුන් ගැන දැනුම් දිය යුතු බවත්, පූජකයන් ගේ ගොදුරු බවට පත්වූවන්ට වන්දි ගෙවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ වාර්තාව කියා සිටියි.

පූජක අතවරයට පත්වූවන්ට ආධාර කරන ජාලයේ ක්‍රියාකාරිනියක් වන බාබරා ඩොරිස් පවසන්නේ,මෙය නීතිය ක්‍රියාවට නංවන ආයතන වලට අවශ්‍ය පියවර ගැනීම අතින් ලද මාහැඟි අවස්ථාවක් බවයි.

Image copyright Reuters

“අපි හිතනවා මේක ක්‍රියාත්මක වීම සඳහා ලැබුණ සංඥාවක් කියල. මේක සිවිල් පාලන අධිකාරියට නැගී සිටීම සඳහා ලැබුණ පණිවුඩයක්. පල්ලියේ නිලධාරීන් මේ අපචාරය අවුරුදු ගණනාවක් හංගමිනුයි හිටියේ.” බාබරා ඩොරිස් පවසයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන වතිකානය කියා සිටින්නේ,විමර්ශනයක් ඔස්සේ අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවයි.

වතිකානයේ ප්‍රතිචාරය

එක්සත් ජාතීන්ගේ වතිකන් තානාපති අගරදගුරු සිල්වානෝ මරියා තොමසි ප්‍රකාශයක් කරමින්, පූජක ළමා අපචාර පිළිබඳ වාර්තාව නිකුත් කළ කමිටුව කරුණු විකෘති කර ඇති අතර ළමා රැකවරණය සඳහා කතෝලික සභාව විසින් ගනු ලබන උත්සාහය අමතක කරනු ලැබ ඇති බවයි කියා සිටියේ.

ගබ්සාව සහ සමලිංගික සම්බන්ධතා පිළිබඳව කතෝලික සභාව දරන ස්ථාවරයෙහි ද වෙනසක් සිදු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ කමිටුව උපදෙස් දීමක් සිදු කර ඇති අතර, වතිකානය කියා සිටින්නේ, එය සිය කතෝලික ඉගැන්වීම් වලට සිදු කෙරෙන අත පෙවීමක් වන බවයි.

සමලිංගික විවාහ වලට උපදෙස් දෙන රාජ්‍ය නොවන සංවිධාන එක්සත් ජාතීන්ගේ කමිටුව කෙරෙහි දෘෂ්ටිමය බලපෑමක් සිදු කරනු ලැබ ඇති බවයි, අගරදගුරු සිල්වානෝ මරියා තොමසි පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර