හිම ක්‍රීඩා උළෙලින් ‘සෝචි’ වර්ණවත් වෙයි

Image copyright Reuters

2014 රුසියානු ඔලිම්පික් හිම ක්‍රීඩා උළෙල කළු මුහුදබඩ ‘සෝචි’ නගරයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරුණි.

උළෙල ආරම්භ කෙරුණේ සත්කාරක රාජ්‍යය ලෝක ඉතිහාසයට එක් කළ දායකත්වය පිළිබඳව ස්ලාවික හෝඩියේ අකුරු මගින් ලියැවුන ප්‍රකාශන චාරිකාවක් ද සමඟ.

සිකුරාදා(07) ආරම්භ කෙරුණ ‘සෝචි’ හිම ක්‍රීඩා උළෙල ඔලිම්පික් ඉතිහාසයේ මෙතෙක් වැඩිම වියදමක් දරමින් සංවිධානය වූ හිම ක්‍රීඩා උළෙලයි.

තරඟාවලිය වෙනුවෙන් ඉතා දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබෙන අතර, හතළිස් දහසක බලකායක් ඒ සඳහා යොදවා ඇත.

හතළිස් දහසක රැකවරණ

‘සෝචි’ ක්‍රීඩාංගනයට ඉහළින් ගුවන් ගමන් තහනම් කර තිබුන අතර, සංදර්ශනයේ විශේෂාංගයක් වුනේ කුඩා දැරියක් රුසියානු භූමියේ මනරම් දර්ශන අතරින් ප්‍රේක්ෂකයන් චාරිකාවක කැඳවා ගෙන යාම.

Image copyright AFP

ඒ සමඟ ගගනගාමීන් කණ්ඩායමක් රුසියාවේ ධජය නංවන ලද්දේ ජාතික ගීය ගැයෙද්දී.

‘සෝචි’ හිම ක්‍රීඩාවන්ට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගනය මැදින් මතු වුනේ ඔවුන්ගේ රටවල දීප්තිමත් කෙරුණ සිතියම් අතරින්.

තුන් දහසක් ක්‍රීඩා සැණකෙළියේ

ඉසව් අනූ අටක් සඳහා තරඟ වදින තුන් දහසක පමණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරි දින දහසය ඇතුළත සෝචි හිම ක්‍රීඩා භූමිය වර්ණවත් කිරීමට නියමිතයි.

ආරක්ෂාව, රුසියාවේ මානව හිමිකම් වාර්තාව සහ ක්‍රීඩාංගණ ඉදිකිරීම අතින් වූ ප්‍රමාදය ආදී කරුණු පිළිබඳව උළෙල ආරම්භ වීමට පෙරාතුව අවධානය පළ වෙමින් තිබුනත්, දැන් ක්‍රීඩාව දෙසට ලෝක අවධානය පළ වනු ඇතැයි යන්න ‘සෝචි’ ඔලිම්පික් සංවිධායකයන්ගේ බලාපොරොත්තුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර