ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශීත ඔලිම්පික් උළෙලට එරටින්ම චෝදනා

ශීත ඔලිම්පික් උළෙල රුසියානු නායකයාගේ බලය විදහා දැක්වීම පිණිස කෙරෙන්නක් මිස ක්‍රීඩාවේ උන්නතිය සඳහා කෙරෙන්නක් නොවන බවට රුසියානු ජනතාවගෙන්ම චෝදනා එල්ලවී තිබේ.

මුල සිටම රුසියානු නායක ව්ලදමීර් පුටින් සෝචි හි ශීත ඔලිම්පික් උළෙල සලකනු ලැබුවේ රටක් ලෙස රුසියාව සතු අති විශාල බලයත් එසේම නායකයෙක් ලෙස තමන් සතු අප්‍රමාණ බලයත් ලොවට පෙන්විය හැකි කදිම අවස්ථාවක් ලෙසයි.

පුටින් ගේ මේ ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා ක්‍රීඩාගාර ඇතුළු අනෙකුත් ඉදිකිරීම් සඳහා ඩොලර් බිලියන පනහක් වියදම් වූ බවටයි ගණන් බලා ඇත්තේ.

මුදල් නාස්තියක්

Image copyright AP
Image caption ශීත ඔලිම්පික් උළෙල බලය විදහා දැක්වීමක් බවයි පැවසෙන්නේ

මොස්කව් වල කනිගි මධ්‍යස්ථානයේ ලිලියා පවසන්නේ මේ ශීත ඔලිම්පික් උළෙල ක්‍රීඩාවේ ජයග්‍රහණයන් සැමරීම වෙනුවෙන් කෙරෙන්නකට වඩා රුසියානු නායකයාගේ අප්‍රමාණ බලය විදහා දැක්වීම පිණිස කෙරෙන්නක් ලෙසයි.

“මේ සීත ඔලිම්පික් උළෙල දුෂණ හා අක්‍රමික තාවයන් ගෙන් පිරුණු කිසි තේරුමක් නැති බොරු අටෝපයක් පෙන්නන මනොන්මාදයක්” යනුවෙන් ඇය පවසයි.

මෙය මුදල් නාස්තියක් බවත් ඩොලර් බිලියන පනහක් යනු රටට දැරිය නොහැකි වියදමක් බවත් පෙන්වාදෙන ඇය වර්තමාන රුසියානු නායකයා මුසෝලිනි මෙන් තමන්ගේ පුරාජේරුව පෙන්වන දේ සඳහා මූලිකත්වය දෙන්නේ යැයිද චෝදනා කරයි.

සියල්ල ජනතාවටයි

එහෙත් මේ චෝදනා ප්‍රතික්ෂේප කරන රුසියානු බලධාරීන් පවසන්නේ සොචි වල කරන මේ ඉදිකිරීම් වල ප්‍රතිලාභය ලැබෙන්නේ එහි ජීවත් වෙන වැසියන්ට බවයි.

ඒ සමගම සෝචි ඔලිම්පික් නගරය මුළු රුසියාව පුරා සිටින මිනිස්සුනට නිවාඩුව ගතකල හැකි තැනක් බවට පත් වන බවයි ඔවුන්ගේ අදහස.

තමන්ගේ ඔලිම්පික් උළෙල විදේශ රටවල විවේචනයට ලක්වන බව මෙන්ම බොහෝ බටහිර නායකයන් උළෙලට සහභාගී නොවන බවත් රුසියානු නායකයා දැන සිටි බවයි බොහෝ අය පවසන්නේ.

එසේම රුසියානුවෝ නිවෙස් වල රුපවාහිනී වලට ඇලී ගැලී තමන්ගේ රටට ලැබෙන පදක්කම් සංඛ්‍යාව ගණන් කරනු ඇති නමුත් උළෙලට වියදම් කල මුදල් ප්‍රමාණය නො තකන බව පුටින් දන්නා බවයි ඔවුන්ගේ අදහස.