ඉන්දියාව යළි ජාත්‍යන්තර ඔලිම්පික් සංවිධානයට

  • 11 පෙබරවාරි 2014
ඉන්දියානු නියෝජිත පිරිස සෝචි ක්‍රීඩාංගනයේ

ඉන්දියාව යළිත් වරක් ජාත්‍යන්තර ඔලිම්පික් සංවිධානයට බඳවා ගෙන තිබේ.

මේ අනුව රුසියාවේ සෝචි නුවර දැන් පැවැත්වෙන හිම ක්‍රීඩා උළෙලේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙසින් පෙනී නො සිට රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව හිමි වෙයි.

දූෂණ වංචා

දූෂණ වංචා එල්ල වී තිබුණු පුද්ගලයන් ජාතික ඔලිම්පික් කමිටුවට පත් කර ගැනීම හේතුවෙන් මීට මාස දාහතරකට ඉහත දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඉන්දියාවේ සාමාජිකත්වය අත් හිටවනු ලදී.

තමිල්නාඩුවේ සිට බීබීසි යට කථා කළ, ඔලිම්පික් උළෙලේ දී ඉන්දියාව නියෝජනය කළ බොක්සිං ක්‍රීඩකයකු වන වී. දේව රාජන් යළි සාමාජිකත්වය හිමි වීම පිළිබඳව ප්‍රතිචාරය පළ කළේය.

“මුලින්ම අලුත් ඔලිම්පික් සංගමය ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩකයන්ගේ විශ්වාසය දිනා ගන්න ඕනේ. ඒ වගේම අනෙක් සියලුම ක්‍රීඩා සංගම් සඳහා හැකි ඉක්මනින්ම නිලවරණ පවත්වන්න ඕනේ. එහෙම කළොත් විතරයි ඉන්දීය ක්‍රීඩාවේ අනාගතය ගැන ආයෙත් වතාවක් විශ්වාසයක් ඇති කරන්න පුළුවන්.”

මේ අනුව ඔලිම්පික් ධජය යටතේ සෝචි ක්‍රීඩාංගණයට ඇතුළු වූ ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනාට ඉන්දීය ධජය යටතේ ඔලිම්පික් උළෙල නිමා කිරීමට අවස්ථාව සැලසෙයි.