අතුරුදහන්වීමක් ගැන පාකිස්තාන් රජයට උසාවි නියෝගයක්

Image copyright AFP
Image caption කරීම් ඛාන්

නියමුවන් රහිත ගුවන් යානා ප්‍රහාර විරෝධී උද්ඝෝෂකයකු වන කරීම් ඛාන් (Kareem Khan) සිටින ස්ථානය පිළිබඳව තොරතුරු හෙළි කරන ලෙස පාකිස්ථාන අධිකරණයක් විසින් රජයට නියෝග කොට තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ප්‍රකාශ කළේ පාකිස්තාන ඔත්තු සේවා අංශ විසින් ඔහු රඳවා ගෙන සිටින බවයි.

ගුවන් ප්‍රහාරවලින් තම රටට සිදු කෙරෙන හානිය පිළිබඳව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ කරුණු දැක්වීමට තිබිය දී ඊට දින කිහිපයකට පෙරදීයි ඔහු අතුරුදහන් වී ඇති බව වාර්තා වුනේ.

පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු පුද්ගලයන් විසින් ඉකුත් සතියේ කරීම් ඛාන් ඔහුගේ නිවසෙන් රැගෙන ගොස් ඇති අතර ඉන් පසු මේ දක්වා ඔහු පිළිබඳ තොරතුරක් අසන්නට ලැබී නැති බවයි මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන්නේ.

එහෙත් පොලීසිය පවසන්නේ සිද්ධියට තම සම්බන්ධයක් නැති බවයි.

කරීම් ඛාන් ගේ සොහොයුරා සහ ඔහුගේ තරුණ පුත්‍රයා නියමුවන් නොමැති ගුවන් යානාවකින් එල්ල කළ ප්‍රහාරයකින් දෙදහස් නවය වසරේ දී උතුරු වසිරිස්තානයේ දී මිය ගියහ.