ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලිංගික පහසට මාළු ලබා දෙන කෙන්යාවේ ධීවරයෝ

මිලියන එක හමාරක් පමණ වන කෙන්යාවේ ඒඩ්ස් රෝගීන් අතරට බටහිර කෙන්යාවේ වික්ටෝරියා විල අසල ජීවත් වන ධීවර ජනතාවගෙන් බහුතරයක් ද ඇතුළත් වන බව හඳුනාගෙන ඇත.

මේ තත්වයට එක් හේතුවක් වී ඇත්තේ මාළු වෙළඳසැල් පවත්වාගෙන යන කාන්තාවන් මුදලට නොව ලිංගික පහස ට ධීවරයින් වෙතින් මාළු ලබා ගැනීමේ සම්ප්‍රදායකට හුරුවී සිටීමයි.

“ජබෝයා” නමින් හැඳින්වෙන මෙම සම්ප්‍රදාය පිළිබඳව අදහස් දක්වන ලුසී ඔධියම්බෝ නමැති මාළු වෙළඳාමේ යෙදෙන කාන්තාව පවසන්නේ අකැමැත්තෙන් හෝ ඔවුනට මේ කටයුත්තේ නියැලෙන්නට බල කෙරී ඇති බවයි.

“මාළුවලට ගෙවන්න සල්ලි මං ළඟ නැහැ. ඒ නිසා මට බල කරනව ඒ අයත් එක්ක ලිංගිකව එකතුවෙන්න කියල. මේකෙන් සමාජ රෝග හැදෙන බව මං දන්නව. එත් මං වෙන මොනවයින් ගෙවන්නද? මට ළමයි පස් දෙනෙක් ඉන්නව ඉස්කෝලෙ යවන්න. මේක මහ කාලකන්නි පුරුද්දක්,” ඇය බීබීසී යට පැවසුවාය.

ඉහල ඒඩ්ස් ප්‍රතිශතය

කාලයක සිට පැවත එන 'ජබෝයා' සම්ප්‍රදාය හේතුවෙන් වික්ටෝරියා විල ප්‍රදේශයේ ඒඩ්ස් රෝගී ප්‍රතිශතය සියයට පහළොවක් දක්වා ඉහළ නැංවී තිබුණද දැන් තත්වය යහපත් අතට පත්වෙමින් ඇති බවයි පැවසෙන්නේ.

පැතිරී ඇති ඒඩ්ස් වසංගතය දුරු කිරීමේ කාර්යයේදී කෙන්යාවේ කාන්තාවන් මුල් තැන ගැනීම වැදගත් වන අතර මාළු වෙළඳසැල් හිමි කාන්තාවන්ට ඔවුන්ගේ ම ධීවර බෝට්ටු මිලදී ගැනීමට සහ කුලී ගෙවා මාළු අල්ලන්නන් ගේ සේවය ලබාගැනීමට උනන්දු කිරීම වෙනුවෙන් වික්ටෝරියා විල ප්‍රදේශයේ පුණ්‍ය ආයතනයක් කටයුතු කරමින් සිටියි.

මෙම ආයතනයේ අරමුණ වන්නේ “මාළු වලට ලිංගික ගෙවීම් නැත” යනුවෙන් නම් කර ඇති වැඩසටහනක් මගින් මාළු වෙළඳාම් කරන කාන්තාවන් දැනුවත් කර ඔවුනට ස්ව ශක්තියෙන් නැගී සිටීමට සහය දීම බවයි එම පුණ්‍ය ආයතනයේ ඩෑන් අබුටෝ පවසන්නේ.