ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුක්‍රේන් අර්බුදය තවත් දරුණු වෙයි

කීව් අගනුවර මධ්‍යයේ නිදහස් චතුරශ්‍රය අල්ලා ගනිමින් ගෙන යමින් ඇති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර අත්හැර දමනු ලැබීමේ අදහසක් නැතැයි යුක්‍රේන් විපක්ෂ නායකයෝ කියා සිටිති.

පසුගිය පැය විසිහතර ඇතුළත සිදු වූ ප්‍රචණ්ඩ ගැටුම් මගින් යටත් පිරිසෙයින් විසිපස් දෙනකුවත් මරා දමනු ලැබ ඇති අතර, යුක්‍රේන් ජනාධිපති වික්තර් යනුකොවිච් ගැටුම් සම්බන්ධයෙන් චෝදනා කරන්නේ විපක්ෂයටයි.

කීව් අගනුවරින් ආරම්භ වූ ගැටුම් මේ වන විට වෙනත් ගම් දනව් කරාත් පැතිර යමින් පවතින බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයෝ බටහිර යුක්‍රේනයේ ‘ලෙවිව්’ නගරයේ පොලිස් මූලස්ථානයට කඩා වදිමින් එහි වූ සියළු සිරකරුවන් මුදා ගනු ලැබීමේ සිද්ධියක් ද වාර්තා වෙයි.

‘ටෙර්නොපිල්’ නගරයේ ආණ්ඩුවේ ගොඩනැගිලි වලටත් ආණ්ඩු විරෝධී ප්‍රහාර එල්ල වී ඇත.

නැගෙනහිර යුක්‍රේනයේ විපක්ෂයේ කාර්යාල ප්‍රහාර වලට ගොදුරු බවක් ද වාර්තා වෙයි.

යුක්‍රේනයේ සිදු වීම් සම්බන්ධයෙන් දැඩි ජාත්‍යන්තර ප්‍රතිචාරයක් පළ වෙමින් පවතින බව මේ අතර වාර්තා වෙයි.

ක්‍රෙම්ලිනය අවධානයෙන්

ගැටුම් ලේ වැගිරීමක් හැටියට විග්‍රහ කරන රුසියානු විදේශ අමාත්‍යංශ ප්‍රකාශනයක් ආණ්ඩුවත් සමඟ වහාම යළි සාකච්ඡා ආරම්භ කරන මෙන් යුක්‍රේන් විපක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටී.

ජනාධිපති යනුකොවිච් ජනාධිපති පූතින් සමඟ අඟහරුවාදා රාත්‍රියේ දුරකතනයෙන් කතා කළ බව ක්‍රෙම්ලිනය පවසයි.

එහෙත් යුක්‍රේන් ගැටුම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ස්වීඩනයේ විදේශ ඇමති කාර්ල් බිල්ඩ්ට් (Carl Bildt) කියා සිටියේ, ප්‍රචණ්ඩ ප්‍රහාර මගින් ජනාධිපති වික්තර් යනුකොවිච්ගේ අත්වල ද ලේ තැවරී ඇති බවයි.

යුක්‍රේනයේ අර්බුදය ගැන සාකච්ඡා කිරීම පිණිස යුරෝපා හවුලේ විදේශ ඇමතිවරුන්ගේ විශේෂ සමුළුවක් හෙට බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතයි.

යුක්‍රේනයේ ප්‍රචණ්ඩ ගැටුම්වලට වගකිව යුත්තන්ට එරෙහිව පියවර ගැනීමට බලාපොරොත්තු වෙන බවයි, යුරෝපා හවුලේ සභාපති හොසේ මැනුවෙල් බරෙසෝ පවසන්නේ.