දලයි ලාමා - ඔබාමා සාකච්ඡා චීනයේ නොසතුට

Image copyright THE WHITE HOUSE
Image caption ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ

ටිබෙටයේ බෞද්ධාගමික නායක දලයි ලාමා තුමන් සමග ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සාකච්ඡා පැවැත්වීම පිළිබඳව විරෝධය දැක්වීමක් වශයෙන් චීනය විසින් බෙයිජින් හි ඇමරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කැඳවා තිබේ.

චීනයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ශන්ග් යෙසුයි (Zhang Yesui) එම නිලධාරි වරයාට පවසා ඇත්තේ චීනයේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඇමරිකාව විසින් පියවර ගත යුතු බවයි.

දලයි ලාමා තුමන් සමග පැවති හමුවේදී ටිබෙටයේ මානව හිමිකම් සුරැකීම වෙනුවෙන් තම පුර්ණ සහයෝගය දෙන බව ජනාධිපති ඔබාමා පවසා තිබේ.

දලයි ලාමා තුමන් සමග සාකච්ඡා පැවැත්වීම දෙරටේ සබඳතා දැඩිලෙස පළුදු කිරීමට හේතුවක් වියහැකි බවට චීනය විසින් ඇමරිකාවට අනතුරුඅඟවා තිබියදීය වොෂින්ටනය මෙම හමුවීම සැලසුම් කොට ඇත.

කෙසේ වුවද, ධවල මන්දිරය පවසන්නේ දලයි ලාමා තුමන් පැමිණියේ ජාත්‍යන්තර කීර්තියට පත් ආගමික හා සංස්කෘතික නායකයෙකු ලෙස මිස රාජ්‍ය නායකයෙකු ලෙස නොවන බවයි.