ආසියානු ක්‍රිකට් සැණකෙළියට සියල්ල සූදානම්

Image copyright Reuters
Image caption 2012 ආසියානු ශූරතාව දිනාගත් බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සතුට භුක්ති විඳිමින්

ක්‍රිකට් ලෝලීන් අතර යළිත් වරක් ක්‍රීඩා උණුසුම උත්සන්න කරමින් ආසියානු ක්‍රිකට් ශූරතා එක් දින තරගාවලිය තවත් පැය කිහිපයක් ඇතුළත ආරම්භ කරනු ලැබීමට නියමිතයි.

අඟහරුවාදා ආරම්භ කෙරෙන තරගාවලියේ අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ මීර්පුර් බංග්ලාදේශ් ජාතික ක්‍රීඩාංගනයේ.

ආසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් පහක් මෙම තරඟාවලිය නියෝජනය කරති. ඉන්දියාව පකිස්තානය ශ්‍රී ලංකාව බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය එම රටවල් පහයි.

ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය හෙට, අඟහරුවාදා පකිස්තාන් කණ්ඩායමට එරෙහිව පතුල්ලාහ් නගරයේ පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා බංගලාදේශයේ සිට බීබීසී සංදේශයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

“පසුගිය දා බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වුන ටෙස්ට් සහ එක් දින තරගාවලිය මහත් අභියෝගයක් මැද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු ශූරතා තරගාවලියටත් සාර්ථකව මුහුණ දීමේ සූදානමක සිටින බවයි” ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මයිකල් ද සොයිසා ප්‍රකාශ කලේ.

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු

Image copyright AP
Image caption මහේල ජයවර්ධන කෙරෙහි ශ්‍රී ලංකා පිල මෙවර දැඩි බලාපොරොත්තු පළකර ඇත

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉහලම ස්ථානයේ සිටින බව කියා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මාර්තු මාසයේ ආරම්භ කෙරෙන විස්සයි විස්ස ලෝක ශූරතා තරඟාවලිය තම ඊළඟ ඉලක්කය වන බවත් කියා සිටියි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සකස් කරන ලද ක්‍රිකට් ක්‍රීඩාංගන දෙකක තරඟාවලිය පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් බවයි ආසියානු කුසලාන සංවිධාන කමිටුවේ ප්‍රධානී, අමිනුල් ඉස්ලාම් බුල්බුල් මාධ්‍යයට ප්‍රකාශ කළේ.

එසේම සියලුම ආරක්ෂක විධි විධාන තර කරනු ලැබ ඇති බවත් අමිනුල් ඉස්ලාම් බුල්බුල් පවසයි.

ආරක්ෂක තත්වය මෙන් ම ක්‍රීඩාංගණත් ප්‍රශස්ත මට්ටමක පවතින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු, මයිකල් ද සොයිසා විසින් ද තහවුරු කරනු ලැබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර