යුක්රේනයේ තත්වය 'ඉක්මනින් සන්සුන් වේවි'

24 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:09 GMT

යුක්රේනයේ දේශපාලන අර්බුදය රුසියානු පුරවැසියන්ට සහ රුසියාවේ අවශ්‍යතාවයන්ට එල්ල වන තර්ජනයක් ලෙසින් සලකන බව රුසියාවේ අගමැති ද්මිත්‍රි මෙද්වේදෙෆ් ප්‍රකාශ කරයි.

යුක්රේන ජනාධිපති වික්තර් යනුකෝවිච් බලයෙන් පහ කිරීම පිළිබඳව රුසියාව මෙතෙක් පළ කළ දැඩිම ප්‍රතිචාරය එයයි.

Image copyright AFP
Image caption අගනුවර නිදහස් චතුරශ්‍රය තවමත් උද්ඝෝෂකයන්ගෙන් පිරී පවතී

යුක්රේනයේ අන්තර්වාර ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳවද රුසියාවේ අගමැතිවරයා ප්‍රශ්න නැගුවේය.

සාමකාමී උද්ඝෝෂකයන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනා මත බලයෙන් පහ කෙරුණු ජනාධිපතිවරයා අත් අඩංගුවට ගැනීම පිණිස සොයමින් සිටින බව මේ අතර යුක්රේන අන්තර්වාර ආණ්ඩුවේ බලධාරීහු පවසති.

ශ්‍රී ලාංකිකයන්

තවත් බලධාරීන් කිහිප දෙනෙකුද අවශ්‍යව සිටින පිරිස අතර සිටින බවයි, අභ්‍යන්තර කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යවරයා කියා සිටියේ.

Image copyright Reuters
Image caption 'සිය ගණනක් මරා දැමීමට නියෝග දුන්නේ ඔහු නිසා යනුකෝවිච් ඒකට වගකිව යුතුයි'

මේ අතර ප්‍රකාශයක් කළ උදාර් පක්ෂයේ නායක විතාලි ක්ලිච්කෝ: "මේක අමුතුම තත්වයක්. මේ මොහොතේ රටට අවශ්‍යම පුද්ගලයා වෙලා ඉන්න යුක්රේනයේ ජනාධිපතිවරයා වගකීමෙන් මිදෙන්න රටින් පලා යන්න උත්සාහ කරමින් ඉන්නවා," යනුවෙන් සඳහන් කළේය.

"මම මේක අවධාරණය කරන්න කැමතියි. සිය ගණනක් මරා දැමීමට නියෝග දුන්නේ ඔහු නිසා යනුකෝවිච් ඒකට වගකිව යුතුයි," බවද හිටපු බොක්සිං ශූරයා පැවසීය.

හිටපු ජනාධිපති යනුකෝවිච් ඉරිදා අවසාන වරට දැක ගන්නට ලැබුනේ බහුතරයක් රුසියානු ජනතාව වාසය කරන යුක්රේනයේ ක්‍රීමියා අර්ධද්වීපයේදී.

කෙසේ නමුත් ඉක්මනින්ම තත්වය යථා තත්වයට පත් වනු ඇති බවයි, කීව් අගනුවර වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු වන ලලිත් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියේ. (හඬ පටය)