ඇමෙරිකාවේ සුළු ජාතීන් කොන් වෙලා - ඔබාමා

  • 28 පෙබරවාරි 2014
Image copyright AFP
Image caption සුළු ජාතික තරුණයන් දකින විට 'මගේ යෞවන විය සිහිපත් වෙනවා'

වාර්ගික සුළුතර ජන කණ්ඩායම්වල තරුණ පරපුරට වැඩිපුර අවස්ථා විවෘත කිරීමේ අරමුණින් නව වැඩ පිළිවෙලක් ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශයට පත් කළේය.

කළු ජාතික සහ ස්පාඤ්ඤ භාෂාව භාවිත කරන තරුණයන් ඇමෙරිකානු සමාජය තුල නිරන්තරයෙන් කොන් වී සිටින බවයි, ජනාධිපතිවරයා කියා සිටියේ.

වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරමින් ඉතා හැඟීම්බර කතාවක් කළ ජනාධිපති ඔබාමා, සුළු ජාතික තරුණයන්ට සමාජයේ හිමි ස්ථානය සම්බන්ධ සංඛ්‍යාලේඛන වේදනාව දනවන්නක් බව සඳහන් කළේය.

ඒ තරුණයන් දකින විට තමන්ට තමාගේම යෞවන විය පෙනෙන බවද ඔහු කියා සිටියේය.

"එකම වෙනස මම හැදී වැඩුනේ සමාව දීමට පුරුදු පුහුණු වුන පරිසරයක. ඒ නිසා වරදක් කලාම ඒකෙ ප්‍රතිඵලය එතරම් දරුණු වුනේ නැහැ," යනුවෙන් ඔහු කියා සිටියේය.

"මගේ දෙමාපියන් සහ ආච්චිලා සීයල පමණක් නොවෙයි, ගුරුවරුන් සහ ප්‍රජා නායකයන් මාව දිරිමත් කළා. හොඳින් ඉගෙන ගෙන, මහන්සි වෙලා වැඩ කරලා දියුණු වෙයන් දරුවෝ කියල ඔවුන් මට ගුරුහරුකම් දුන්න."

ඇමෙරිකාවේ සුළු ජාතික තරුණයන් බොහෝ පිරිසක් බන්ධනාගාරගත කෙරෙන බව සහ ප්‍රචණ්ඩ අපරාධවලට ගොදුරු වන බවයි, සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර