දකුණු චීනයේ 'ත්‍රස්තවාදී ප්‍රහාරයක්'

Image copyright Reuters
Image caption සියයකට අධික පිරිසක් ප්‍රහාරයේදී තුවාල ලැබූහ

විසි නම දෙනකු මරා දමමින් දකුණු චීනයේ කුන්මින් නගරයේ දුම්රිය ස්ථානයට ප්‍රහාරයක් එල්ල කළේ වයඹ දිග ෂින් ජියෑන්පළාතේ බෙදුම්වාදීන් බව චීන බලධාරීහු පවසති.

එය සංවිධානාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසිනුයි, බලධාරීන් විග්‍රහ කරන්නේ.

පිහිවලින් සන්නද්ධව සිටි කණ්ඩායමක් දුම්රිය ස්ථානයේ සිටි මගීන්ට පිහියෙන් ඇන කපා කොටා දැමූ අවස්ථාවේ තවත් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

වාසනාවකට සිය ජීවිතය බේරුණ බවයි, ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එය ඇසින් දුටු ශූ ජියාජියාඕ පවසන්නේ.

"හුඟාක් දෙනෙක් මැරිලා ඉන්නවා මම දැක්ක. ස්ටේෂන් එකේ හිටපු පිහි ගත්තු කණ්ඩායමක් එක පාරට පැනල දුවනවත් මම දැක්ක. මම පුදුම බයෙන් හිටියේ," යනුවෙන් ඔහු පැවසීය.

ප්‍රහාරකයන් සිවු දෙනකුටවත් වෙඩි තබා මරා දැමූ බව පවසන පොලිසිය ප්‍රහාරයට සම්බන්ධ වූ බව සැලකෙන කාන්තාවක් අත් අඩංගුවට ගත් බවද සඳහන් කරයි.

ඇය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර