වනජීවීන් වැනසුවොත් ‘ෆට්වා’ දණ්ඩනය

Image copyright Getty
Image caption ඉන්දුනීසියාවේ වන විනාශය දුර්ලභ වනජීවීනගේ නිවහන වැනසීමක්

වන ජීවීන් දඩයම් කිරීම සහ සතුන් රට පැටවීමේ අනවසර ජාවාරමට එරෙහිව ‘ෆට්වා’ දණ්ඩනය පනවන බව ඉන්දුනීසියාවේ බලවත්ම ඉස්ලාමීය පූජක මණ්ඩලය කියා සිටියි.

වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් මෙවැනි පියවරක් කිසිදාක ගෙන නැති බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

අනවසරයෙන් රට පැටවීමේ ජාවාරම මැඩලමින්, සත්ව වාසභූමි විනාශ නොකොට වනජීවීන් සුරැකීමට පියවර ගන්නා ලෙසයි, ඉස්ලාමීය පූජක මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

දැව කැපීම නිසා සිදු වෙන වනාන්තර විනාශය, කෘෂිකර්මය සහ සංවර්ධන ව්‍යාපෘතීන් නිසා ඉන්දුනීසියානු භූමියේ බොහෝ දුර්ලභ වන ජීවීන් රැසක් වඳ වී යාමේ අනතුරක් උද්ගතව පවතී.

මිනිසුන්ට ආණ්ඩුවේ නීතිවලින් රිංගා යාමට හැකි වුනත් දෙවියන්ගේ වචනයෙන් බේරී යාමට කිසිවකුට නොහැකි බවයි , ඉන්දුනීසියානු ‘උලෙමා’ මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

ඉන්දුනීසියානු ඉස්ලාමීය ‘උලෙමා’ මණ්ඩලය විසින් ප්‍රකාශිත ෆට්වා ප්‍රකාශනයත් රටේ නීතියත් එකවර බල පැවැත්වෙන බවත් ප්‍රකාශ වෙයි.