උණුසුම් දේශගුණය නිසා මැලේරියා බියක්

Image copyright SPL
Image caption උෂ්ණත්වය ඉහළ ගිය වසර වලදී එම මැලේරියාව වැඩියෙන් වාර්තා විය

උණුසුම් දේශගුණය නිසා මැලේරියාව විශාල වශයෙන් ලොව පුරා ව්‍යාප්ත විය හැකි බව බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පර්යේෂකයෝ පවසති.

අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල සිදු කළ පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත්තේ දේශගුණික උෂ්ණත්වය ඉහළ ගිය වසර වලදී එම පෙදෙස්හි මැලේරියාව වැඩියෙන් වාර්තා වී ඇති බවයි.

එම නිසා අනාගතයේදී පරිසර උෂ්ණත්වය ඉහල යද්දී මැලේරියා රෝගීන් වාර්තා වීම මිලියන ගණනකින් ඉහල යා හැකි බව පර්යේෂකයෝ විශ්වාස කරති.

මෙම පර්යේෂණය සඳහා අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ කඳුකර ප්‍රදේශවල ජනාකීර්ණ ස්ථාන තුන්සියයක් පමණ යොදා ගෙන තිබේ.

රෝගය සම්පුර්ණයෙන්ම තුරන් වී ඇති බවට සහතික කර තිබූ පෙදෙස්වලින් පවා දේශගුණය උණුසුම් වූ වසරවලදී මැලේරියා රෝගීන් වාර්තා වී තිබුණි.

ඉතියෝපියාවේ දේශගුණය වසරකට සෙල්සියස් අංශක එකකින් ඉහළ ගියහොත් එරට මැලේරියා රෝගීන්ගේ ගණන වසරකට තිස් ලක්ෂයකින් ඉහළ යා හැකි බවට ඇස්තමේන්තු කර තිබේ.