මැලේසියානු ගුවන් යානය ගැන තොරතුරක් නැහැ

Image copyright AP
Image caption මගීන් අතරින් වැඩි දෙනෙක් චීන ජාතිකයන්

මැලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ සිට බේජිං බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් වූ ගුවන් යානය සෙවීමේ හා බේරා ගැනීමේ ජාත්‍යන්තර මෙහෙයුමක් සෙනසුරාදා රැය පුරාම ක්‍රියාත්මක කෙරෙමින් තිබිණ

සනාථ නොකළ වාර්තා පවසන්නේ මෙම බෝයින් 777 වර්ගයට අයත් යානය වියට්නාමය අසල මුහුදට කඩා වැටී ඇති බවයි.

මැලේසියාව සහ වියට්නාමය අතර විශාල මුහුදු කලාපයක් ආවරණය කෙරෙන මට්ටමින් සෝදිසි මෙහෙයුම පෙරට යමින් පවතින බවයි වාර්තා වන්නේ.

යානය සොයා ගැනීම සඳහා වියට්නාමය, මැලේසියාව සහ චීනයට අයත් නැව් සහ ගුවන් යානා මගින් සෝදිසි මෙහෙයුමක් දියත්කර තිබෙන අතර,එම මෙහෙයුම සම්බන්ධීකරණය කරනු ලබන්නේ සිංගප්පුරුව විසිනි.

පළමු මෙහෙයුමෙන් යානය ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වූ හෙයින්,නාවික යාත්‍රා සහ හෙලිකොප්ටර් ඇතුලත් දෙවන මෙහෙයුම් කණ්ඩායමක් ද යැවූ බවයි මැලේසියානු හමුදාව පවසන්නේ.

අතුරුදහන් යානය ආරක්ෂක ප්‍රමිතිය අතින් යහපත් වාර්තාවක් තිබුන යානයක් බවයි පැවසෙන්නේ.

මැලේසියා ගුවන් සේවයට අයත් යානයකට සිදුවූ දරුණුතම අනතුර හැටියට වාර්තා වී තිබුනේ මගීන් සියයක් මරණයට පත් වූ 1977 ගුවන් අනතුරයි.

අලුත් සිද්ධිය ගුවන් යානයේ අනතුරක් හැටියට තහවුරු කෙරුනොත්, එය මෙයින් අවුරුදු 19කට පෙර බෝයින් ගුවන් සේවා ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව වාර්තා වූ බරපතලම අනතුරටත් වඩා දරුණු අනතුර බවට පත් වනු ඇත.

සිය දකුණු මුහුදේ කිලෝ මීටර් පහළොවත් විස්සත් තරම් දුරක විහිද ඇති තෙල් පැල්ලමක් දක්නට ලැබෙන බව වියට්නාම් නිලධාරීහු පවසති.