මාලදිවයිනේ මැතිවරණ කොමිසමට සිර දඬුවම්

  • 10 මාර්තු 2014
Image copyright AFP
Image caption මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ්ගෙන් විරෝධතා

අධිකරණ නියෝගවලට අකීකරු වීමේ චෝදනා මත මාලදිවයිනේ මැතිවරණ කොමසාරිස්වරුන් හතර දෙනාටම සිර දඬුවම් නියම විය.

මාස හයකට අත්හිටවූ තුන් අවුරුදු සිර දඬුවමක් නියම කළ මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයා තනතුරින් පහ කර තිබේ.

අධිකරණය විසින් ලබා දී තිබුණු කාල නියමයක් වන සති දෙකක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්වීමට අපොහොසත් වීම මෙයට හේතුව යි.

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් මෙම නියෝගයට එරෙහිව විරෝධතා පවත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මාර්තු විසි දෙවැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත වන අතර දින හයක් ඇතුළත මැතිවරණ කොමිසමේ පුරප්පාඩු පුරවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මාලදිවයින් පාර්ලිමේන්තුවට නියෝග කර තිබේ.

පසුගිය ඔක්තෝම්බරයේදී පැවති මාලදිවයින් ජනාධිපතිවරණය නිදහස් සහ සාධාරණ බවට නිරීක්ෂකයන් සිය ගණනක් කියා සිටියදී අධිකරණය විසින් එය අවලංගු කරනු ලැබීම මාලදිවයින් මැතිවරණ කොමසාරිස්වරයා ගේ දෝෂ දර්ශනයට ලක් විය.