ඉන්දීය ගුරු දේව මළ සිරුර ශීත කරණයක

Image copyright djjs

අශුටොස් ගුරු දේවයාගේ බැතිමත්හු ඔහුගේ මළ සිරුර ශීත කරණයක තැන්පත් කරති.

ඔවුන් බීබීසි යට පැවසුවේ තමන් ට මග පෙන්වීම සඳහා ඔහු යළි ජීවය ලබා පැමිණෙනු ඇතැයි යන විශ්වාසය නිසා එසේ කළ බවයි.

ඔහු හෘදයාබාධයකින් මිය ගිය බවට සැක කෙරේ.

අශුටොස් ගුරු දේව මිය ගොස් ඇතැයි පන්ජාබ් බලධාරීන් විසින් ජනවාරි 29 වැනිදා නිවේදනය කරන ලදී.

නමුත් ඔහු ඉතා තද භාවනානුයෝගී අවස්ථාවක සිටින බවට විශ්වාස කරන ඔහුගේ අනුගාමිකයෝ මළ සිරුර ශීත කරනයේ තැබුහ.

ඔහු, කෝටි තුනක පමණ අනුගාමිකයන් සිටින ‘ජෝති ජාගරති සන්ස්තන් ‘ නමින් හැඳින්වෙන දිව්‍යාලෝක උදානය ධර්ම දූත මෙහෙවරට නායකත්වය දුන්නේය.

“ඔහු මිය ගොස් නැත. වෛද්‍ය විද්‍යාවට යෝග ශාස්ත්‍රය අවබෝධ කර ගත නොහැක. අපි බලා සිටිමු. ඔහු ආපසු එන බවට අපට විශ්වාසයි,“ ඔහුගේ ප්‍රකාශක ස්වාමි විශාලානන්ද් පැවසුවේය.

ප්‍රකාශක ස්වාමි විශාලානන්ද් කියා සිටියේ පරීක්ෂණ මගින් මහා රාජා මිය ගොස් ඇති බවට වෛද්‍යවරුන් පැවසුවත් ඔහු ඇත්ත වශයෙන්ම ජීවත්වන බවත් , භාවනාවේ ඉහලම ස්ථානය වන සමාධි තත්වයට පත්ව සිටින බවයි.

ගුරු දේව හැත්තෑ වැනි වියේ පසු වූ බවට විශ්වාස කෙරේ.

ආධ්‍යාත්මික අත්දැකීම්

තමා දිගු කලක් අප සමඟ රැඳී නොසිටින බව ගුරු දේව නිතර සඳහන් කළ බව පැවසූ ස්වාමි විශාලානන්ද් ඔහු නොමැති කාලය තුළ සංවිධානය පාලනය කර ගත යුතු බවත් කියා සිටි බව පැවසුවේය.

වෛද්‍යවරුන් ගුරු දේව මිය ගිය බව නිවේදනය කිරීමෙන් පසුව බැතිමතුන් පන්ජාබ් හි ජලන්ධාර් නගරයේ ‘ජෝති ජාගරති සන්ස්තන්’ මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ දේහය දැක බලා ගත් බව ඔහු පැවසුවේය.

“ශීත කරණයේ තැබීමට පෙර මළ සිරුර කිසිදු වෙනසකට ලක්ව තිබුනේ නැහැ. එය ආධ්‍යාත්මික වශයෙන් ලැබිය හැකි අත් දැකීමක්. අපි හිතුව මළ සිරුර එම්බාම් කරන්න. අපි එහෙම කලොත් යළි ජීවය ලැබීමට ඇති අවකාශය අහිමි වන බව අයෙක් පෙන්වා දුන්නා.” ස්වාමි විශාලානන්ද් ප්‍රකාශ කළේය.

“ඔහු ආපසු එන බවට අපට සහතික වී තිබෙනවා,”තවත් බැතිමතෙකු වන ලක්වින්දර් සිංග්, ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් පතට පැවසුවේය.

මේ අතර ගුරු දේව ගේ හිටපු රියදුරකු බවට හඳුනා ගත් අයෙක් මළ සිරුර ශීත කරණයේ තැබීමට ගෙන ඇති තීරණය අධිකරණයේ අභියෝගයට ලක් කොට තිබේ.

ගුරු දේව ගේ වත්කම් වලින් කොටස් ලබා ගැනීමට ඇති අවශ්‍යකම නිසා මළ සිරූර නිදහස් කිරීමට බැතිමතුන් ඉඩ නොදෙන බවයි ඔහු කියා සිටින්නේ.

එහෙත් අධිකරණය ඔහුගේ අභියාචනය ප්‍රතික්ෂේප කළේ ගුරු දේව පරීක්ෂණ අනුව මිය ගොස් ඇති නිසා ඔහුගේ මළ සිරුර සම්බන්ධයෙන් කටයුතු කිරීම බැතිමතුන්ට අයත් කාර්යයක් බව පවසමින් යැයි පන්ජාබ් නීති නිලධාරීනි රීටා කොහ්ලි ඒඑෆ්පී ප්‍රවෘති සේවයට පැවසුවාය.

අධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කොට ඇති නිසා පොලීසියට මැදිහත් කිරීමක් කළ නොහැකි බවයි ජ්‍යෙෂ්ට පොලිස් නිලධාරියකු වන ගුරින්දර් සිංග් දිලන් පැවසුවේ.