ඉන්දීය තානාපති නිලධාරිනියට එරෙහි නඩුව ඉවතට

  • 2014 මාර්තු 13
දිව්යානි කොබ්රාගඩේ Image copyright AP
Image caption දිව්යානි කොබ්රාගඩේ

ඇමරිකාවත් ඉන්දියාවත් අතර රාජ්‍යතාන්ත්‍රික මතභේදයකට මුල් වූ නඩුවක් ඇමරිකානු අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

ඉන්දීය තානාපති නිලධාරිනි දිව්යානි කොබ්රාගඩේ ඇමරිකානු ආගමන නීති උල්ලංඝණය කිරීම සහ සේවිකාවකට අඩුවෙන් වැටුප් ගෙවීම හේතුවෙන් අත්අඩංගුවට ගනු ලැබිණ.

විනිසුරු ෂිරා ෂින්ඩේලින් නඩුව බැහැර ලමින් කියා සිටියේ දිව්යානි කොබ්රාගඩේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇයට තානාපති නිලධාරිනියකට හිමි මුක්තිය හිමිව තිබු බවයි.

තානාපති නිලධාරිනි දිව්යානි කොබ්රාගඩේ නීතීවේදියෙකුගේ මාර්ගයෙන් තීන්දුව ගැන අදහස් දක්වමින් කියා සිටියේ නීතියේ ආධිපත්‍යය සුරැකී ඇති බවයි.

දිව්යානි කොබ්රාගඩේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඇමරිකානු ආරක්ෂක සේවා ඇගේ ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිය යුතු බව ඉන්දියානු ආණ්ඩුව ප්‍රකාශ කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය

මේ සිදුවීම පිළිකුල සහ විමතිය දනවන්නක් බවත් ඇමරිකාවට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගන්නා බවත් ඉන්දීය ආණ්ඩුව කියා සිටියේය.

දිව්යානි කොබ්රාගඩේ ගේ පියා වන උත්තම් කොබ්රාගඩේ කියා සිටියේ ඇමෙරිකානු නඩු තීන්දුව සිය ජීවිතයේ ඉහළම සතුට දනවන මොහාත බවයි.මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යාංශය කටයුතු කළ ආකාරය උත්තම් කොබ්රාගඩේ ගේ පැසසුමට ලක් විය.

ඇමරිකානු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදි ප්‍රීට් බහරා කියා සිටියේ, ඉන්දීය තානාපති නිලධාරිනි දිව්යානි කොබ්රාගඩේ අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇයට වෙනත් බොහෝ ඇමරිකානුවන්ට හිමි නොවන ආචාරශීලී බවකින් සැලකුණ බවයි.කාන්තා නිලධාරිනියක විසින් ඇඳුම් ගලවා පරීක්ෂා කිරීම සාමාන්‍ය පිළිවෙත බව ප්‍රීට් බහරා පෙන්වා දුන්නේය.

දිව්යානි කොබ්රාගඩේට එරෙහිව අපරාධ චෝදනා ගොනු කෙරුණු අතර ඉන්දියාව ඇයට හිමි රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය අහෝසි කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඇමරිකානු අධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුවත් සමගින් දිව්යානි කොබ්රාගඩේට එරෙහිව අලුත් චෝදනාවක් ගොනු කිරීමේ ඉඩක් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇත.