‘කාන්තා පක්ෂයට වෙන් කර ඇත’

  • 2014 මාර්තු 14
india bus Image copyright Reuters

නව දිල්ලියේමහජන මගී ප්‍රවාහන සේවාවන්හි කාන්තාවන්ට වෙන් වූ ආසන භාවිතා වෙන ආකාරය මේ දිනවල විවාදයට ලක් වී ඇති මාතෘකාවක්.

ඉන්දියානු ජන මාධ්‍ය මගින් සිදු කෙරෙන එම සාකච්ඡාවට අදාලව පළ කොට ඇති ඡායාරූපවල දිල්ලි උමං දුම්රියේ මැදිරිවල කාන්තාවන්ට වෙන් කළ ආසනවල පුරුෂයන් හිඳ ගෙන සිටින අකාරය දැක්වෙයි.

ඉන්දියාවේ බොහෝ බස් සහ දුම්රිය මැදිරි වල කාන්තාවන්ට ආසන වෙන් කර ඇති අතර එවැනි පියවරක් ගෙන තිබෙන්නේ ඔවුන් ලිංගික අතවර වලින් මුදා ගැනීමේ සැලැස්මක් වශයෙනි.

2012 වසරෙහි දිල්ලි අගනුවර දී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දමනු ලැබීමේ අපරාධය , ලිංගික අතවරවලට එරෙහි නීතිය දැඩි කරන මෙන් ඉල්ලා සිටීමේ මහජන හඬක් පැතිර යාමට හේතු විය.

ලිංගික අතවර

ඉහත කී මාධ්‍ය සාකච්ඡාවට එක් වූ රින්චු දුප්කා කියා සිටියේ, ඉන්දියානු කාන්තාවන් බස් රථ වලදී දිනපතාම මෙන් අතවරයට ලක් වෙන බවයි.

ඇය ඊට එරෙහිව නැගී හිටි අවස්ථාවල දී තමා බස් රථයෙන් ඉවතට අද දැමූ බවත් රින්චු දුප්කා පවසන්නීය.

ක්නාල් මජුම්දාර් කියා සිටියේ, ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර කිරීම ඉන්දියානු පිරිමින් ගැහැණුන් ගැන හිතන ආකාරය හෙළිදරව් කෙරෙන්නක් වන බවයි.

කාන්තාවන්ට පමණක් ආසන වෙන් කිරීම මගින් ස්ත්‍රීන්ට සහ පුරුෂයින්ට සමාන අයිතිවාසිකම් ඇත යන මූලධර්මය උල්ලංඝණය වන බවයි, මධුකාර් පාන්ඩේ පවසන්නේ.

ජස්මින් පතීජා විවාදයට එක් වෙමින් කියා සිටියේ, ස්ත්‍රීන් සහ පුරුෂයින් ආසන වලින් වෙන් කිරීම මගින් ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරීමේ ගැටළුවට දිගු කාලීන විසඳුමක් නොලැබෙන බවයි.