ටෝනි බෙන් දිවියෙන් සමු ගනී

Image copyright Reuters

බ්‍රිතාන්‍ය දේශපාලනයේ පමණක් නොව ලොව පුරා වාම සහ ප්‍රගතිශීලී බලවේගයන් අතර නමක් තැබූ සටන් කාමියෙක්. වූ ටෝනි බෙන් අභාවප්‍රාප්ත විය.

1925 අප්‍රියෙල් තුන් වෙනිදා උපත ලද ඇන්තනි නීල් වෙජ්වුඩ් ටෝනි බෙන් බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ට නායකයකු වූ අතර අවුරුදු පනහක කාලයක් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රී වරකි.

ටෝනි බෙන් ලේබර් පක්ෂය තුල නියෝජනය කළේ එහි වාම බලවේගයයි. කැබිනට් මණ්ඩලයට තෝරා ගනු ලැබීමෙන් අනතුරුව වඩාත් වමට ගිය ඇමති වරුන් අතලොස්සේ සාමාජිකයකු හැටියටයි දේශපාලන විචාරකයන් විසින් ඔහු විග්‍රහ කරන ලද්දේ.

වමේ දේශපාලනයේ වඩාත් සටන්කාමීන් හැඳින්වීම සඳහා "Bennite" යන වචනය දේශපාලන ශබ්දකෝෂයට එක් වුනේ ටෝනි බෙන් ගේ දේශපාලනය හේතුවෙන්.

දේශපාලන දින සටහන්

Image copyright PA
Image caption වෙනස් බලවේග දෙකක්.තැචර් සහ බෙන්.

හිටපු අගමැතිනි මාග්‍රට් චැතර් මෙන්ම ටෝනි බෙන් ද ඔහුගේ අනුගාමිකයන් අතර ජනප්‍රිය,අනිත් අතින් සිය දේශපාලන සතුරන් අතර අප්‍රිය වූ චරිතයකි.

ඔහුගේ මුත්තනුවන් මෙන්ම පියාද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, ඔහු 'වෙස්ට්මිනිස්ටර්හි' නියෝජනය වූ දේශපාලන පරම්පරාවක තුන් වැනි පරපුරයි.

ටෝනිගේ පියා, විලියම් බෙන් ඉන්දියාව භාර බ්‍රිතාන්‍ය ලේකම් පදවියෙහි කටයුතු කර ඇත.

ටෝනි බෙන්ගේ දිවියේ වැදගත් අංගයක් වන්නේ ඔහුගේ දින සටහන් සමූහයයි. ඔහුගේ දේශපාලන ගමන් මගේ සමකාලීන තොරතුරු සටහන් කෙරුණ එම දින සටහන් බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සහ දේශපාලන ජීවිතයේ ඉතාම අනගි මතක සටහන් බවට පත්ව ඇත.

එම දින සටහන්වල බොහෝ කාණ්ඩ දශක කීපයක තීරණාත්මක දේශපාලන අරගලයෙහි පැතිකඩක් ලෙසයි සැලකෙන්නේ.

යුද විරෝධියා

1980 අවුරුදුවල බ්‍රිතාන්‍ය පුවත්පත්වල වමේ සාතන් හැටියට ටෝනි බෙන් නිරූපනය කෙරුණේ ඔහුගේ පුළුල් විවර ඇස් ඉංගිරියාවල දෑකත්ත සහ මිටිය ඇතුළත් කරමින්.

ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සඳහා ඔහු ගත් උත්සාහය අසාර්ථක වීමත්,1983 මැතිවරණයෙන් පරාජය වීමත් සමඟ ටෝනි බෙන්ගේ දේශපාලන ගමන් මගෙහි අවපස හැරීමක් දක්නට ලැබුණි.

බ්‍රිතාන්‍ය යුද විරෝධී සන්ධානයේ සභාපතිවරයා වූ ටෝනි, පාර්ලිමේන්තු ජීවිතයෙන් සමු ගැනීමෙන් අනතුරුව ජීවිතයෙන් ද සමු ගනු ලබන තෙක් එම මෙහෙවරෙහි කැප වීමෙන් ක්‍රියාකාරී වෙමිනුයි සිටියේ.