බ්‍රිතාන්‍යයේ සැඟවුනු යුද අපරාධකරුවෝ

බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුද අපරාධකරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් පිළිබඳ නිල සංඛ්‍යාව බොහෝ දුරට අඩු තක්සේරුවක් මත පදනම්ව ඇති බව බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් ප්‍රකාශ කරයි.

බීබීසි ය සමඟ සාකච්ජාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ස්වෙච්ඡාවෙන් තොරතුරු ඉදිරිපත් කළ පුද්ගලයන් අනුව නිල දත්ත සකස් කොට ඇති බවයි.

එම පුද්ගලයන් හඳුනා ගැනීමේ ක්‍රම වේදය වැඩි දියුණු කරමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේය.

බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර් දැන් ‘Torture Aware UK’ නමැති මානව හිමිකම් සංවිධානය පිහිටුවා ගෙන ඇත.

“යුද අපරාධ කරුවන් කොපමන පිරිසක් අප අතර සිටින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ දී පැහැදිළි උපාය මාර්ගයක් ඇත්ද යන්න මම දකින්නේ නැහැ,” ඔහු සඳහන් කළේය.

සංක්‍රමණික දීමනා

ඉකුත් වසරේ දී බ්‍රිතාන්‍ය සංක්‍රමණික දීමනා ලබා ගනිමින් සිටි යුද අපරාධ කරුවන් එකසිය පහළොස් දෙනකු හඳුනා ගත් බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනාවරණය කොට ඇත.

කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ සිටින යුද අපරාධකරුවන්ගේ ගණන ප්‍රකාශිත සංඛ්‍යාවට වඩා වැඩි බව පවසන බ්‍රිතාන්‍යයේ ආගමන විගමන අංශයේ හිටපු ප්‍රධානී බ්‍රයන් මුවර්, යුද අපරාධවලට ලක්ව බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයන්ගෙන් සාක්ෂි ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රියාකාරී වන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

ඇෆ්ඝනිස්තානය, ඉරානය , ඉරාකය, ලිබියාව, රුවන්ඩාව, සර්බියාව සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණි සැකකරුවන් බ්‍රිතාන්‍යය ජීවත් වන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කොට ඇත.

ශ්‍රී ලංකාවේ යුද්ධය

බීබීසියේ ටොම් බේට්මන් වධ බන්ධන වලට ලක්ව බ්‍රිතාන්‍යය වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකුගෙන් විමසීමක් කලවිට ඔහු පැවසුවේ එසේ යුද අපරාධ කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයට පැමිණ ජීවත් වන බවට තමා විශ්වාශ කරන බවයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය පැවතී සමයේ තමා එහි ජීවත් වූ බව පැවසූ ඔහු තම අත්දැකීම් විස්තර කරමින් කියා සිටියේ තමා අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද හමදා සෙබළුන් විසින් වද දුන් බවයි.

“ඔවුන් මට අතින් පයින් පහර දුන්නා. මගෙ ඇඟ කැපුවා. මගේ ඔළුවට දේවල් තියල බැන්ද. මගෙ ඇඟේ ලේ ගලන්න පටන් ගත්ත. මම දින දෙකක් එහි හිටියා මගේ ඇඟ පුරා ලේ. ඊට පස්සේ මට තදේට වමනෙ ගියා. දින දෙකකට පස්සේ ආයෙම මාව අරගෙන ගියා. එකම ප්‍රශ්න ආයෙම මගෙන් ඇහුවා. ඇඟේ කපල තිබුණා තැන් ආයෙම ඇතුළට කැපුවා”

එසේ වද දුන් පුද්ගලයන්ගෙන් සමහරෙක් බ්‍රිතාන්‍යය සිටිය හැකි දැයි ඔහුට ප්‍රශ්නයක් යොමු කළ විට තමන් එසේ සිතන බවයි ඔහු පැවසුවේ.

“ ඔවුන්ට මොනවා හරි කරන්න සිද්ධ වෙනව. ඒ නිසා බේරෙන්න ඔවුන් පලා යනවා” ඔහු කියා සිටියේය.

අහිතකර නිර්දේශ

දෙදහස් දොළහේ ජනවාරි සහ දෙදහස් දහ තුනේ අප්‍රේල් දක්වා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් යුද අපරාධ සහ මානව වර්ගයට එරෙහි අපරාධ සිදු කොට ඇති බවට සැක කෙරෙන අට සිය දෙනකුගේ අයදුම් පත් පරීක්ෂා කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීමට, දේශපාලන රැකවරණ ලැබීමට සහ බ්‍රිතාන්‍යයේ දිගු කාලීන වීසා මත රැඳී සිටීමට ඉදිරිපත් කළ අයදුම්පත් අනූ නවයක් සම්බන්ධයෙන් අහිතකර නිර්දේශ ලබාදී ඇති බව පැවසූ අමාත්‍යංශය යුද අපරාධකරුවන් දහසය දෙනකු බ්‍රිතාන්‍යයට ඒම සඳහා අයදුම් පත් ඉදිරිපත් කොට ඇති බවත් ප්‍රකාශ කළේය.

දෙදහස් පහ සහ දෙදහස් දොළහ යන වසර තුළ සැක කටයුතු යුද අපරාධකරුවන් හත් සිය දෙනකු හඳුනාගෙන ඇති බවත් බ්‍රිතාන්‍යයේ ආගමන විගමන නිලධාරීහු පැවසූහ.