මුෂාරෆ් යන පාරේ බෝම්බ පුපුරයි

Image copyright Getty
Image caption මේ චෝදනා දේශපාලන පලිගැනීම් බවයි ඔහු පවසන්නේ

පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ගමන් කරමින් සිටි මෝටර් රථය ඇතුළු පරිවාර රථ පෙළ ගමන් ගත් මාර්ගය ඉලක්ක කළ බෝම්බයක් රථ පෙළ එම ස්ථානය පසු කර යාමෙන් මිනිත්තු ගණනකට පසු පුපුරා ගිය බව පකිස්තාන පොලිසිය කියයි.

මෙය හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කර සිදු කළ පුපුරවා හැරීමක් බව පොලීසිය පවසන අතරකිසිවෙකුටත් තුවාල සිදුවී නැති බවද වාර්තාවෙයි.

පිපිරීම සිදුවී ඇත්තේ මුෂාරෆ් ප්‍රතිකාර ලබමින් සිටි රාවල්පින්ඩි නුවර රෝහලක සිට තම නිවෙස වෙත ඔහු ගමන් කරමින් සිටි මාර්ගයේ ඇති පාලමක් මතදීය.

රාජද්‍රෝහී චෝදනා

ජනවාරි මාසයේ දී ඔහුට එරෙහිව ආරම්භ වූ රාජද්‍රෝහී චෝදනා පිලිබඳ ආරම්භක නඩු විභාගයට යමින් සිටියදී ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඔහු රෝහල් ගත කෙරිණි.

බලයේ සිටි කාලය තුළ සිදු කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ පහක් සම්බන්ධයෙන් සතිය මුලදී අධිකරණය විසින් ඔහු වැරදිකරු කරනු ලැබුණි.

මේ චෝදනා දේශපාලන පලිගැනීම් ලෙස සඳහන් කළ හැත්තෑ හැවිරිදි මුෂාරෆ් ඒ සියල්ල ප්‍රතික්ෂේප කළේය.

බදාදා රාත්‍රියේ යුධහමුදා රෝහලේ සිට ඉස්ලාමාබාදයට මදක් පිටතින් ඇති මුෂාරෆ් ගේ නිවස වෙත ඔහුව රැගෙන යමින් සිටියදීය ෆයිසාබාද් පාලම මත පිපිරීම සිදුව ඇත්තේ.

බෝම්බය පාලම යට

පොලීසියේ ඉහළ නිලධාරියෙක් වන ලියාකත් නියාසි ප්‍රකාශ කළේ කිලෝග්‍රෑම් හතරක පුපුරන ද්‍රව්‍ය සහිත බෝම්බයක් පාලම යට තිබු නල මාර්ගයක සවිකර තිබී පුපුරා ගොස් ඇත්තේ හිටපු ජනාධිපතිවරයා එය පසුකර යාමට විනාඩි විස්සකට පසුව බවයි

මෙම සිදුවීමෙන් පසු වෙනත් මාර්ගයකින් ඔහුව නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

පොලීසිය විසින් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර කිසිවෙකු විසින් මෙතෙක් මේ පිපිරවීම පිළිබඳ වගකීම භාරගෙන නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර