මෝර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Image caption පසුගිය මාස කිහිපය ඇතුළත ඔස්ට්‍රේලියානු වෙරළාසන්නයේ මෝර ප්‍රහාර කිහිපයක්ම

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි මුහුදු වෙරළට ඔබ්බෙන් පිහිනීමේ යෙදී සිටි කාන්තාවක් මෝරෙකු ගේ ප්‍රහාරයට ලක් වී මරණයට පත් වුවාය.

මෝර ප්‍රහාරයෙන් මරණයට පත් වූ හැට තුන් හැවිරිදි ක්‍රිස්ටීන් ආම්ස්ට්‍රෝං ගේ ස්වාමි පුරුෂයා මෙම මෝරා දැක ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් පසු එම වෙරළ ප්‍රදේශය වසා දමා ඇති අතර ක්‍රිස්ටීන් ආම්ස්ට්‍රෝං ගේ දේහය සොයා ගැනීම සඳහා බෝට්ටු සහ හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.

දේහ කොටස්

මිනිස් දේහයක කොටස් කිහිපයක් හමු වී ඇති බව ඒබීසී පුවත් සේවය වාර්තා කළ නමුත් තවම ඒවා ඉහත කී කාන්තාවගේද යන්න නිශ්චිතව තහවුරු කර නැත.

මරණයට පත් වී ඇති බව සැලකෙන ක්‍රිස්ටීන් ආම්ස්ට්‍රෝං දිනපතාම පාහේ පිහිනීම සඳහා මෙම මෙම වෙරළට පැමිණෙන කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

අයගේ පවුලේ ඥාතීන් කියා සිටියේ පසුගිය වසර දාහතර තිස්සේ පිහිනීම සඳහා ක්‍රිස්ටීන් මෙම ස්ථානයට පැමිණෙමින් සිටි බවයි.

පසුගිය මාස කිහිපය ඇතුළත ඔස්ට්‍රේලියානු වෙරළාසන්නයේ මෝර ප්‍රහාර කිහිපයක්ම සිදු වූ බවට වාර්තා වී තිබුණි.

පසුගිය සතියේ ද තිස් අට හැවිරිදි පුරුෂයෙකු පිහිනමින් සිටියදී අතුරුදහන් වූ අතර පොලිසිය පවසන්නේ මෝරෙකු ගේ ප්‍රහාරයකට ලක් වන්නට ඇති බවයි.