ජනාධිපතිවරණ ආරක්ෂාව මැද මාධ්‍යවේදිනියක් මරා දැමෙයි

Image copyright b
Image caption ජනාධිපතිවරණය වෙනුවෙන් දැඩි රැකවරණ

හෙට සෙනසුරාදා පැවැත්වෙන ඇෆ්ඝනිස්තාන් ජනාධිපතිවරණය වෙනුවෙන් රට පුරා ආරක්‍ෂක විධි විධාන තර කරනු ලැබෙමින් පවතිද්දී එරට සිටි විදේශීය මාධ්‍යවේදිනියකට වෙඩි තබා මරා දමා ඇත.

පකිස්තාන් දේශ සීමාව ආසන්නයේ ‘ඛෝස්ට්’නම් නගරයේ දීයි එම ඝාතනය සිදු කෙරුණේ.

පොලිස් නිල ඇඳුමින් සැරසී සිටි පුද්ගලයෙක් මාධ්‍යවේදිනියන් දෙදෙනකුට වෙඩි තබා ඇති බවයි ඇෆ්ඝනිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.

ඇෆ්ඝන් සහ ජාත්‍යන්තර හමුදා භටයන් හාර ලක්ෂයක් ජනාධිපතිවරණ ආරක්‍ෂක මෙහෙයුමෙහි නිරත කරනු ලැබීමට නියමිතයි.

භටයන් හාර ලක්‍ෂයක්

සෑම ඡන්ද මධ්‍යස්ථානයක් අවට ආරක්ෂක වළලු පිහිටුවා ඇති අතර ඡන්ද මධ්‍යස්ථානවල ඇතුළේ පොලිස් භටයන් සහ ඉන් පිටත යුද හමුදා භටයන් නිරත කරවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙමින් ඇත.

Image caption කාබුල් අගනුවර; ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය

කාබුල් අගනුවරට වැටී ඇති සියලු මාවත් මේ වන විටත් ආරක්ෂක අංශවල පාලනය යටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නැවත තරඟ කළ නොහැකි හෙයින් වත්මන් ජනාධිපති හමීඩ් කර්ශායි මෙවර ජනාධිපතිවරණයට ඉදිරි පත් නොවන අතර, ඇෆ්ඝන් ජනතාවට නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගනු ලැබීමට මෙවර අවස්ථාව ලැබෙයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර