පාකිස්තානයේ බිලිඳෙකුට මිනීමැරීමේ චෝදනා

Image copyright Reuters
Image caption උද්ඝෝෂණයක් පැවැත්වෙන අතර දරුවා සිය උකුළේ සිටි බව බිලිඳාගේ පියා පවසයි

මිනීමැරීමක් සැලසුම් කිරීම, පොලිසියට තර්ජනය කිරීම සහ රාජ්‍යයේ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනා මත පාකිස්තානයේ නව මස් හැවිරිදි බිලිඳෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

එම චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පවරා තිබෙන තිස් දෙනකු අතර මොහොමඩ් මොසා කන් නමැති මාස නවයක් වයසැති බිලින්දකුද සිටින බවයි, පාකිස්තානයේ ද නිවුස් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

ලාහෝර් නගරයේ ගෑස් සොරුන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ අවස්ථාවේ, පොලිසියට ගල් මුල්වලින් දමා ගැසූ බවත් ආරක්ෂක නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කල බවත් ඔවුන්ට එල්ල වන චෝදනා.

එහෙත් එහිදී උද්ඝෝෂණයක් පැවැත්වෙන අතර තම දරුවා තමන්ගේ උකුළේ සිටි බවයි, බිලිඳාගේ පියා පවසන්නේ.

බිලිඳාට එරෙහි චෝදනා පිළිබඳව විමතිය පළ කරන පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා, සිද්ධිය පිළිබඳව තමන්ට කරුණු පැහැදිලි කරන මෙන් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියාට නියෝග කොට තිබේ.